FAST NEWS

24×7 Around the Globe

ඉතිහාසයේ විශාලතම විදෙස්‌ රැකියා කෝටාව හෙට රනිල්ගේ ජපන් සංචාරයේදී?

ජපන් රජයේ නිල ආරාධනාවකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (2 වැනිදා) රාත්‍රී ජපානය බලා පිටත්ව යැමට නියමිතය.

එරට අගමැති ෂින්ෂො අබේ මහතාගේ ආරාධනාවකට අනුව ජපානයට යන වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීමෙන් අනතුරුව නිරත වන දෙවැනි නිල සංචාරය මෙය වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඔසාකා නගරයට ප්‍රථමයෙන් යැමට නියමිත අතර ජපානයේ පවතින නූතන ඩිජිටල් තාක්‍ෂණය මෙරටට ද ලබා ගැනීමේ ද්වීපාර්ශ්වික එකඟතාවන්ට පැමිණීමටද නියමිතව ඇත.

අනතුරුව අගමැතිවරයා ටෝකියෝ නුවරට පිටත්ව යන අතර එහිදී ජපන් අගමැතිවරයා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමටද නියමිත අතර ජපානයේ ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟද එහිදී නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ජපන් සංචාරයේදී මෙරටට මෑත ඉතිහාසයේ හිමිවන විශාලතම විදෙස්‌ රැකියා කෝටාව ලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.