FAST NEWS

24×7 Around the Globe

බැංකු කොල්ලය සිදු කලේ ඇයි?පානදුර වෛද්‍ය සිසුවා හෙළි කරයි.

අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මුදල් නොමැතිවීම හේතුවෙන් තමන් බැංකු කොල්ලය සිදු කළ බව පානදුර ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 05 ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා අනාවරණ කර තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම බැංකු කොල්ලයක් සිදුකිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බව ඉකුත් 28 වැනි දා අත්අඩංගුවට ගත් මෙම තරුණයා පොලීසිය සිදු කළ වැඩිපුර ප‍්‍රශ්න කිරීම්වල දී පවසා ඇත.

ඉකුත් 28 වැනි දා පස්වරුවේ පානදුර ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත පැමිණි මෙම තරුණයා එහි මුදල් කවුන්ටරය වෙත ගොස් සේවයේ නිරත ව සිටි නිලධාරිනියට අනතුරු අඟවා තිබුණේ ලක්ෂ 05 ක මුදලක් තමන්ට ලබානොදුනහොත් වෙඩි තබන බවටයි.

එමෙන්ම, මුදල් ලබා ගැනීමට බවට හඟවා ඔහු ඇයට ලබාදුන් මුදල් ලදුපතේ ද වෙඩි තබන බව සටහන් කර තිබේ. ඉන් අනතුරුව රුපියල් ලක්ෂ 05 ක මුදලක් අදාළ නිලධාරිනියගෙන් බලෙන් ලබාගත් සැකකරු බැංකුවෙන් පිටතට පැමිණ දිවගොස් ඇත.

එහි දී මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු ඔහු පිළිබඳ සැකසිතී පසුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට රැඳවුම් නියෝග මත අදාළ තරුණයාගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදු කරයි.

සැකකාර තරුණයා කොල්ලුපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය හදාරා ඇති බවට පොලීසියට ප‍්‍රකාශ කර ඇත. ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණි බව ඔහු අනාවරණ කර තිබේ.