FAST NEWS

24×7 Around the Globe

නිලධාරීන්ට කර ඇරිය නොහැකි එයාර් බස් ගනුදෙනුවේ අනාගතය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්  බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කර ඇති බවත් එය නීතිපතිවරයාගේ අවධානයට යොමු කරන ලෙසත් පසුගියදා පැවති කෝප් කමිටු රැස්වීමේදී  සභාපතිවරයා දැනුම් දෙන ලදී.

මෙම සිද්ධිය අප නැවත නැවත මතක් කරන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් රටේ මහජන සුබසිද්ධිය වෙනුවෙන් වියදම් කිරීමට තිබු මේසා මුදලක් වංචා කිරීම පිළිබඳව ජනතාවට යලි යලිත් සිහිපත් කිරීම සඳහාය.

පසුගිය 19 වනදා රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුවේදී  ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබා නොගැනීම, විධිමත් අධ්‍යනයකින් හා විශ්ලේෂණයකින් තොරව මුල්‍ය ප්‍රසම්පාදන කටයුතු නොකිරීම,  ගුවන්යානා ගිවිසුම  අවසන් කිරීම සම්බන්ධයෙන් නිසි උපදේශන හා ක්‍රියාමාර්ග නොගැනීම යනාදී කරුණු පිළිබඳව විශේෂ අවධානයට ලක් විය.

මෙහිදී සීමාසහිත ශ්‍රී ලන්කන්  ගුවන් සේවා සමාගම ගුවන් යානා අත්පත් කර ගැනීමේ ගිවිසුම අවසන් කිරීම සඳහා වූ නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් මුළු වන්දි මුදල ලෙස ඇමරිකානු  ඩොලර් මිලියන 115.77 ගෙවීමට සිදු වීම සම්බන්ධයෙන් කමිටුව සිය අප්‍රසාදය පළ කළේය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ගුවන් සමාගමට ලැබී තිබු ඇමරිකානු  ඩොලර් මිලියන 375න්  ලංකා ඛණිජ  තෙල් සංස්ථාවේ ණය  පියවීම සඳහා ඩොලර් මිලියන 355.5ක් භාණ්ඩාගාර අනුමැතිය යටතේ භාවිත කොට ඇති බව  කමිටුවේදී අනාවරණය විය.

ඒ අනුව බලන කල ඇමරිකානු  ඩොලර් මිලියන 19.5 ආයතනය සතුව තිබියදී තිබියදී ඩොලර් බිලියන 2.8 වූ මෙම ගුවන් යානා ගිවිසුමට අවතීර්ණ වුයේ ඇයිද යන්න කමිටුව විසින් අදාළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

අධ්‍යක්ෂක මණ්ඩලයේ යම් යම් වෙනස් වීම් සිදු වුවද, මෙවන් අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් එම නිලධාරීන්ට බැහැර විය නොහැකි බව කමිටුව, මෙහිදී අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් විගණකාධිපති වරයා හට එහිදී උපදෙස් ලබා දෙන ලදී.

රටක සිදුවන කවර ආකාරයක හෝ දූෂිත ක්‍රියාවක් සාධාරණීකරණය කිරීමෙන් තොරව එමගින් එරටට සිදුවන හානිය පිළිබඳ කරුණු අනාවරණය කරමින් අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබාදීමට බලයේ සිටින පාලකයින්ට බලපෑම් කිරීම ජනමාධ්‍යවල සමාජීය වගකීමකි.

ඒ අනුව මෙම එයාර් බස් ගනුදෙනුව සිදුවූ ආකාරය පිළිබඳව ඔබට සිහිපත් කිරීමට කැමැත්තෙමු.

එයාර්බස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී සිදු වූ බවට චෝදනා එල්ලවන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ, ප්‍රංශ ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන ‘එයාර්බස් ‘ සිය අතරමැදියන් යොදවමින් ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය සහ ඝානා යන රටවල ගුවන් යානා කොන්ත්‍රාත් ලබාගැනීමේ අරමුණින් අල්ලස් ලබා දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුවය.

මෙම චෝදනා සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය සිව් වසරක් පුරා ඒකාබද්ධ විමර්ශනයක් පැවැත්වූහ.

චෝදනාවලට එරෙහිව පැවති නඩුව බේරුම්කරණයකට එකඟ වීමත් සමඟ, එක්සත් රාජධානිය, ඇමරිකාව සහ ප්‍රංශ බලධාරීන්ට යුරෝ බිලියන 3.6ක මුදලක් ගෙවීමට එයාර්බස් සමාගමට සිදුවන බව ලන්ඩන් නුවර අධිකරණයකින් ලබා දුන් තීන්දුවේ සඳහන් වේ.

අදාළ තීන්දුව රටවල් තුනෙහිම අධිකරණවලින් පිළිගෙන තිබේ.

සිය සමාගමේ ගුවන් යානා මිලදී ගැනීම සහ බද්දට ගැනීම සම්බන්ධයෙන් දිගු කාලීන කොන්ත්‍රාත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එයාර්බස් සමාගම අතරමැදියන්ට විවිධ ක්‍රම ඔස්සේ අල්ලස් ලබා දී තිබිණ.

2011 ජූලි සිට 2015 ජුනි දක්වා කාලය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියකුගේ බිරිඳට එයාර්බස් ගුවන්යානා ගනුදෙනුවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට එයාර්බස් සමාගම එකඟ වී තිබේ.

ඉහත කී මුදල ගෙවීම සඳහා බෘනායි රාජ්‍යයේ ඒ වෙනුවෙන්ම ව්‍යාජ සමාගමක් ලියාපදිංචි කර ඇතැයි ද අධිකරණ වාර්තාවේ සඳහන් වේ.

ගුවන් යානා දහයක් මිලදී ගැනීමට සහ තවත් ගුවන් යානා හතරක් බද්දට ගැනීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ හැකි අතරමැදියෙකු ලෙස මෙම කාන්තාව යෙදවීම මෙහි අරමුණ වී ඇත.

කෙසේනමුත්, අදාළ ‘නිලධාරී බිරිඳට’ ගුවන් යානා විෂය සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

2013 මාර්තු 29 වන දින එයාර්බස් සමාගම A330 වර්ගයේ ගුවන් යානා හයක්, A350 ගුවන් යානා හතරක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විකිණීම සහ තවත් A350 ගුවන් යානා හතරක් බදු දීම සඳහා අතරමැදියකු සමඟ ගිවිසුමක් අත්සන් කර තිබූ බව අධිකරණ වාර්තාවේ දැක්වේ.

මේ අතර, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගන්නා සෑම A330 ගුවන් යානයක්ම සඳහා ‌ඩොලර් මිලියනයක්ද, බදු ගන්නා සෑම A350 ගුවන් යානයකටම ඩොලර් මිලියන 1.16 ක් ද ‌කොමිස් ‌මුදලක් ලෙස අතරමැදියාට ගෙවීමට එකඟ වී ගිවිසුමක් අත්සන් කර ඇත.

එමෙන්ම, 2015 ඔක්තෝම්බර් 30 වන දිනට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනත් කිසිදු තරගකාරී ගුවන් සමාගමකින් වෙනත් ගුවන් යානා මිල දී නොගන්නේනම් අතරමැදියාට තවත් ඇමරිකානු ඩොලර් මිලියන පහක් ලබා දීමට අදාළ ගිවිසුම මඟින් එයාර්බස් සමාගම එකඟ වී තිබිණි.

කෙසේනමුත්, එයාර්බස් සමාගම අතරමැදියාට ගෙවා ඇත්තේ පෙර එකඟ වූ ඇමරිකානු ඩොලර් 16.84ක මුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් පමණි.

2013 ජුනි 19 පැරීසියේ පැවැත්වුණු ගුවන් යානා ප්‍රදර්ශනයේ දී එයාර්බස් සමාගමේ A330 ගුවන් යානා හයක් ඇණවුම් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන ඇතැයි අධිකරණ වාර්තාවේ දැක්වෙයි.

එම ගුවන් යානා හය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබිණි.

නමුත්, 2013 ජුනි 28 ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර්බස් සමාගම අතර ඇති වූ දෙවෙනි ගිවිසුම් ප්‍රකාරව ඇණවුම් කරන ලද A350 ගුවන් යානා හතර ශ්‍රී ලංකාවට එවා නොමැත.

ලොව පුරා බොහෝ රටවල් අපනයන මූල්‍ය ආයතනවලින් ලබාගන්නා ණය මුදල් සිය රටවල භාණ්ඩ අපනයනය සඳහා යෙදවීමට ක්‍රියා කරයි.

එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතන ද එරටේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා වෙනත් රටවලට බැංකු ණය ලබා දෙයි.

එයාර්බස් සමාගම ද සිය ගුවන් යානා අපනයනය සඳහා ප්‍රංශ, ඇමරිකානු සහ බ්‍රිතාන්‍යය සමාගම්වලින් ණය ලබාගෙන තිබිණි.

එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය විමර්ශන පැවැත්වූයේ එයාර්බස් සමාගම අදාළ ගුවන් යානා කොන්ත්‍රාත් ලබා ගැනීම සඳහා මෙම ණය මුදල් යෙදවීම පිළිබඳය. එයට මුල් වූ හේතුව නම්, අදාළ ගනුදෙනුවලට අතරමැදියන් සම්බන්ධ කර ගැනීම ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි හේතු දැක්වීමට එයාර්බස් සමාගම අපොහොසත් වීමය.

විමර්ශන පැවැත්වෙන කාලය ඇතුළත එයාර්බස් සමාගම ඉදිරිපත් කළ අපනයන ණය මුදල් ඉල්ලුම්පත් නැවත්වීමට එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය ක්‍රියා කළ නමුත්, 2018 වසරේ දී එම තීරණය ආපසු හැරවිණි.

එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය අදාළ ගෙවීම් පිළිබඳ එයාර්බස් සමාගමෙන් විමසූ අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවේ අතරමැදි කාන්තාවගේ නම සහ ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් නොමඟ යැවීමක් සිදු කර බෘනායිහි ලියාපදිංචි කළ ව්‍යාජ සමාගමට ඩොලර් මිලියන දෙකක මුදල ගෙවා තිබේ.

“කොමිස් මුදල ලබා දෙන අතරමැදියාගේ අනන්‍යතාවය සැඟවීම සඳහා එයාර්බස් බලධාරීන් අදාළ කාන්තාවගේ නම සහ ස්ත්‍රී පුරුෂ භාවය ගැන බ්‍රිතාන්‍ය මූල්‍ය ආයතනය නොමඟ යවා තිබෙනවා,” යැයි බ්‍රිතාන්‍ය අපනයන මූල්‍ය ආයතනය සිදු කළ ප්‍රකාශයක් අධිකරණ වාර්තාවේ සඳහන් වේ.

එයාර්බස් සමාගම සිය අතරමැදියන්ට ගෙවීම් සිදු කරනු ලබන්නේ යුරෝවලින් පමණි. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ අතරමැදි කාන්තාව යුරෝ ගනුදෙනු සඳහා ‘ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ’ (Standard Chartered Bank) විශේෂ ගිණුමක් විවෘත කර ඇතැයි අධිකරණ වාර්තාවේ දැක්වෙයි.

එයාර්බස් සමාගම සමග ගනුදෙනු 2015 දී අවසන් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා කීපයක බදු ගිවිසුම් සාකච්ඡා කිරීම වෙනුවෙන් දඩ මුදලක් ගෙවීමට ද සිදු වී ඇත.

රටට අහිමි වූ මෙම මුදල් සියල්ල රටේ ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් යෙදවීමට තිබු මුදල් බව අප අමතක නොකළ යුතුය.