FAST NEWS

24×7 Around the Globe

ප්‍රහාරයෙන් තම සෙබළුන් ආරක්ෂිතව සිටින බව ට්‍රම්ප් ජාතිය අමතමින් කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉරාකයේ පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරුවලට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවත් තම සෙබළුන් ආරක්ෂිතව සිටින බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ ඉරානයට පිළිතුරු දීමක් වශයෙන් ඉදිරියේදී දැඩි නව ආර්ථීක සම්බාධක පනවන බවයි.

බැග්ඩෑඩ් ප්‍රහාරයකින් මියගිය ඉරාන හමුදා ප්‍රධානී ජෙනරාල් කසෙම් සොලෙයිමානි ලොව ප්‍රබලම ත්‍රස්තවාදියෙකු බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමරිකානු ජනාධිපති ජාතිය අමතමින් පැවසුවේ මැදපෙරදිග ඉන්ධන ඇමරිකාවට අවශ්‍ය නොවන බවත්, තමන් බලයේ සිටින තාක් ඉරානයට කිසිදු විටක න්‍යෂ්ටික අවි භාවිත කිරීමට ඉඩ නොදෙන බවත්ය.

පසුගියදා ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කසෙම් සොලෙයිමනී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස ඊයේ (08) ඉරානය විසින් ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි ඇමරිකානු කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබුවේය.