FAST NEWS

24×7 Around the Globe

සනීපාරක්ෂාව හා සෞඛ්‍ය පිළිබඳ කලාපීය වැඩමුළුව අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු ආසියානු කලාපීය සනීපාරක්ෂාව හා සෞඛ්‍ය පිළිබඳ වේගවත් ක්‍රියාකාරී ඉගෙනීම සඳහා වූ වැඩමුළුව අද (09) ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව, ගෝල්ඩි සෑන්ඩ් හෝටලයේ දී ආරම්භ වීමට නියමිතය. 

සාර්ක් කලාපීය රටවල්වල නියෝජිතයන් හැට දෙනෙකු මේ සඳහා සහභාගීවන අතර ලබන 11 වැනිදා දක්වා මෙම වැඩමුළුව පැවැත්වෙනු ඇත.

මේ සඳහා සාමාජික රටවල නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ අදාළ විෂය පිළිබඳ වෘත්තිකයන්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ අදාළ නිලධාරීන් සහ දේශීය හා ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් සහභාගීවීමට නියමිතය.

ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන කලාපීය සනීපාරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානය සහ ලෝක ජලය හා සනීපාරක්ෂාව පිළිබඳ වූ සහයෝගීතා සංවිධානය ආධාර ඇතිව මෙම කලාපීය වැඩමුළුව සංවිධාන කෙරේ.