FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රිනි ගීතා ගැන පොලිස් පරීක්ෂණ අරඹයි.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්තයෙන් ලබාගෙන තිබූ ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගෙන ඇද්ද යන්න ගැන පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

දකුණු ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලක් විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ මෙවන් සිල්වා මහතාට යොමුකර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
දැනට දින දෙකකට පෙර ලැබී ඇති එම පැමිණිල්ල සම්බන්ධයෙන් ඇයගේ විදේශ ගුවන්ගමන් බලපත්‍රයට අදාළ ලියකියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුව මාර්ගයෙන් පරීක්ෂාවට භාජන කිරීමට විශේෂ විමර්ශන අංශය තීරණය කොට තිබේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයකුට පාර්ලිමේන්තුවේ ආසනයක් තරග කිරීමට නොහැකි බව පොලිසිය පැවැසීය.
ඒ අනුව ඇයට ද්විත්ව වීසා හිමිකම තවමත් වලංගුවී ඇද්ද යන්න ගැන අදාළ තානාපති කාර්යාලයෙන්ද තොරතුරු ලබාගෙන ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා හමුවී සාකච්ඡා කිරීමට එම විමර්ශන ඒකකය කටයුතු කරගෙන යන බවද එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය.