FAST NEWS

24×7 Around the Globe

වාර්තා අතරට යන අද සිංහ – කිවී සටනේ විශේෂ තතු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වනු ඇත.

ශ‍්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පළමු වරට විස්සයි20 කඩුලූ 100 ක් දවා ගත් පන්දු යවන්නා වීමේ බලාපොරොත්තුවෙන් පසුවන අතර ඔහු මේ වන විට කඩුලූ 99 ක් ලබා තිබේ. දෙවැනි තරගයේදී මාලිංගට කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වූ අතර ඔහු අවසන් වරට ක‍්‍රීඩා කළ විස්සයි20 තරග 19 කදී කඩුල්ලක් දවා නොගත් දෙවැනි අවස්ථාව වශයෙන් එම තරගය සටහන් විය.

විස්සයි20 ජාත්‍යන්තර තරගවලදී වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා බවට ලසිත් මාලිංග පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව මේ වන විට සියලුම ආකෘතීන් යටතේ කඩුලු ලබා ගැනීමේ ලැයිස්තුවේ පෙරමුණ ලබා ගැනීමට සමත් විය. මුත්තයියා මුරලිදරන් එක්දින සහ ටෙස්ට් තරග ආකෘතීන් යටතේ ඉදිරියෙන් සිටියි.

අද තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වුවහොත්, එය තම රටේදී අඛණ්ඩව සිව්වන වතාවට පරාජය වූ විස්සයි20 ජාත්‍යන්තර තරගය ලෙස සටහන් වේ.

මේ වන විට, ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවති තරඟ 13 කදී ලැබූ ජයග්‍රහණ 7 සහ පරාජයන් 4 ඔවුන් ඕනෑම ක‍්‍රීඩාංගණයකදී ක්‍රීඩා කල විශිෂ්ටතම ජයග්‍රහණ ලෙස සැලකේ.