FAST NEWS

24×7 Around the Globe

ඇමති හරීන්ගෙන් නියෝජ්‍ය නායක සජිත්ට කැපිල්ලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට තමන්ට හැකි බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එය කල හැක්කේ තමන්ට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර ලබාදුනහොත් බව අමාත්‍යවරයා කියා සිටී.

ජේෂ්ඨයින් කිහිප දෙනෙකු සමඟ පසුගියදා පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

පක්ෂ නායකත්වයට මේ යෝජනාව ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නියෝජ්‍ය නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතාය.

2018 පෙබරවාරි මාසයේ පැවති මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සෙසු පළාත් පාලන ආයතනවල ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇල්පිටියේදී 49.76%ක ඡන්ද ප්‍රතිශතයක් ලද හැකි බව හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පෙරමුණට 26.22%ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 11.75%ක්, ජනතා විමුක්ති පෙරමුණට 6.17%ක් සහ සෙසු පක්ෂවලට 4.48%ක් වශයෙන් ඡන්ද බෙදී යනු ඇති බව එහිදී සඳහන් කර ඇත.

මේ අනුව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මේ ප්‍රතිඵලය උඩු යටිකුරු කල හැකි බවයි.