(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හෙට(06) පැවැත්වෙන විස්සයි විස්ස අවසන් තරඟය සඳහා ශෙහාන් ජයසූරිය හා කුසල් මෙන්ඩිස් වෙනුවට
කණ්ඩායමට ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.
නමුත් මේ පිළිබඳ ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.
පසුගියදා පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී පන්දු රකිමින් සිටිය දී ශෙහාන් ජයසූරිය හා කුසල් මෙන්ඩිස් මුහුණට මුහුණ ගැටී සිදුවුණු හදිසි අනතුර නිසාවෙන් ඔවුන් දෙදෙනා ආබාධයකට ලක්විය.
වම් පාදයේ දණහිස අබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් සති 6 කට විවේක ගන්වා ඇති බවයි වාර්තා වේ.
මේ අතර තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය සඳහා මාටින් ගප්ටිල් සහභාගී නොවනු ඇත.
විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත සංචිතයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම (ලුකී ෆර්ගසන්, ගප්ටිල් හා ටොම් බෘස්) ආබාධවලට ලක්ව තිබෙන නිසාවෙන් තුන් ඉරියව් ක්‍රීඩක හමිෂ් රදර්ෆර්ඩ් සංචිතයට කැඳවීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.
එය නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ගැරී ස්ටෙඩ් මහතා විසින් තහවුරු කර ඇත.
තරගාවලිය ආරම්භ වීමට පෙර පසුගිය දා පැවති පුහුණු සැසිවාරයක් අතරතුර නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ලුකී ෆර්ගසන්ගේ මහපට ඇඟිල්ලේ අස්ථි බිඳීමක් සිදු වූ නිසා ඔහුට සම්පූර්ණ තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු විය. එසේම උකුලේ වම්පස ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ආබාධයක් නිසාවෙන් මැදපෙළ පිතිකරු රෝස් ටේලර් හට දෙවන තරගය මඟ හැරී ගිය නමුත් අනිද්දා පැවැත්වෙන තෙවැනි තරගය සඳහා ඔහු සූදානමින් සිටින බව වාර්තා වේ.
දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ සිකුරාදා (6) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වේ.









