FAST NEWS

24×7 Around the Globe

තරිඳුගේ පන්දු යැවීමේ ඉරියව්වේ වෙනසක් වෙලා නෑ – පුහුණකරු

පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට පැමිණිලි ලැබී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල් 2012 වසරේදී ඔස්ට්‍රේලියාවේදී පරීක්ෂා කළ බවත් එහිදී ඔහුගේ ඉරියව්වේ ගැටලුවක් නොතිබුණු බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු පියල් විජේතුංග මහතා පැවසීය.

තරිඳු කෞෂාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට නිමාවූ ඉන්දිය ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබුණි. කෙසේ වෙතත් 2012 වසරේ කළ පරීක්ෂණයෙන් අනතුරුව තරිඳුගේ පන්දු යැවීමේ ඉරියව්වේ වෙනසක් වී නොමැති බවත් පුහුණුකරු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඔහුගේ ඉරියව්ව සැක සහිත බවට පැමිණිලි ලැබී තිබෙන හෙයින් දින 14ක් ඇතුළත තරිඳු අයි.සි.සී. පිළිගත් පරික්ෂණ මධ්‍යස්ථානයකදී පරීක්ෂාවට ලක්වීමට සිදුවෙයි. ඒ අනුව කෞෂාල් එම පරික්ෂණය සඳහා එළැඹෙන 13 දා ඉන්දියාව බලා යාමට නියමිතය. ඒ සඳහා පුහුණුකරු පියන් විජේතුංග මහතාද එක්වෙයි.

තරිඳුගේ පිට දඟපන්දුවේ වෙනසක් සිදුවිය නොහැකි බව සඳහන් කළ පුහුණුකරු, දුස්රා පන්දුව ගැන පැවසීම තරමක් අසීරු බවද පවසා සිටියේය.

“අපි 13 දා චෙන්නායිවලට යනවා. අවුලක් තිබ්බද නැත්ද නම් කියන්න බෑ. 2012 වසරේ අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලියට ඔස්ට්‍රේලියාවට ගිය වෙලාවේ තරිඳුව පරීක්ෂා කළා. අපි එහිදී ඔහුගේ දුස්රා එක හා පිට දඟපන්දුව පරීක්ෂා කළා.

ඒ වෙලාවේ කිසිම අවුලක් තිබුණේ නෑ. එතැනින් පස්සෙත් පන්දු යැවීමේ ඉරියව්වේ වෙනසක් වෙලා නෑ. දුස්රා එක කොහොමත් අයි.සී.සී. එක තහනම් කරන්න බලාගෙන ඉන්නේ. මොනවා වෙයිද කියලා හිතාගන්න අමාරුයි. පිට දඟ පන්දුවේ නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.