(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ‘ව්‍යවස්ථා යෝජනාවලිය’ ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලන අභිප්රායක් අවශ්‍ය වන බවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.
ස්පෝර්ට්ස් ස්ටාර් (Sport Star) වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මුල් පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම, සහ සිදත් වෙත්තමුනිගේ අදහස් හා යෝජනා අනුව සකස් කරන ලද ‘ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය’ පසුගිය මස 23 දින ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දෙනු ලැබුණි.
“ශ්‍රී ලංකා දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට්, තේරීම් ප්‍රතිපත්තිය, පරිපාලනය සඳහා වඩා හොඳ ක්‍රමවේදයක් යැයි අප සිතන දේ සඳහා සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එය ක්‍රියාවට නැංවීම සඳහා යම් තාක් දුරකට දේශපාලන අභිප්රායක් අවශ්‍ය වෙනවා. එසේ නැතහොත් මෙරට ක්‍රිකට් ක්‍රීඩා සාමාජ විසින්ම එම යෝජනාවලිය සම්මත කරගැනීමට ඡන්දය දිය යුතුයි,” යැයි හිටපු ක්‍රිකට් නායක පවසයි.
“ක්‍රීඩාවට වාසිදායක වන අයුරින් බලය විමධ්‍යගත කිරීම සඳහා බලයේ සිටින පුද්ගලයින් එම ආසන අත්හැර දැමීමට හැකි විය යුතුයි. පරිපාලනය එය නොකරන්නේ නම්, එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිප්‍රාය පරිදි ගෙන පාර්ලිමේන්තුවේදී විවාද කර, ක්‍රීඩා නීතිය සහ ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවේ වෙනසක් ඇති කළ යුතුයි,” යැයි සංගක්කාර පවසයි.
“ඒ සඳහා ධෛර්යය හා දැක්ම ඇති පළමු පුද්ගලයා කවුරුන්ද යන්න අප බලා සිටිනවා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.









