FAST NEWS

24×7 Around the Globe

ගාල්ල සිංහ – කිවි සටන ක්‍රිකට් ඉතිහාසයට; කේන් විලියම්සන් ගෙන් ප්‍රබල ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මේ වන විට හඳුන්වාදී ඇති මංගල ටෙස්ට් ශූරතාවලියේ දෙවන තරගය අගෝස්තු මස 14 සිට 18 දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම් තරග කරනු ඇත.

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය දෙරටටම වැදගත් වන අතර ඊට ‍එක් හේතුවක් වන්නේ ICC ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකක් එහිදී පැවැත්වීමයි.

එමෙන්ම, වත්මන් එක්දින ලෝක අනුශූරයන් ලෙසින් තරග සංචාරයකට නවසීලන්තය සහභාගි වන ප්‍රථම වතාව මෙය වන බැවිනි. ශ්‍රී ලංකාවට මෙය වැදගත් වන්නේ ටෙස්ට්, එක්දින සහ විස්සයි20 අංශයන් ත්‍රිත්වයෙන්ම ශ්‍රේණිගත කිරීමට අනුව නවසීලන්තය ඉදිරියෙන් සිටින බැවිනි.

“ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ ඉතාමත් ප්‍රබල කණ්ඩායමක්. විශේෂයෙන් ඔවුන්ගේ රටට ඇවිත් ඔවුන් එක්ක ක්‍රීඩා කිරීම ලෙහෙසි පහසු නෑ,” මෙම තරගාවලිය පිලිබඳ අදහස් දක්වමින් සංචාරක නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසයි.

“ආසියානු තණතීරු විශේෂයෙන් දඟපන්දු යවන්නන්ට හුඟක් හිතකරයි‍. අපි දඟ පන්දු යවන්නන්ට එරෙහිව හොඳින් පන්දුවට පහර දෙන්න ඕනෑ. අපට ඒ සඳහා හොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා යැයි,” ඔහු වැඩිදුරටත් පවසයි.

නවසීලන්ත කණ්ඩායමක් මීට පෙර අවසන් වරට ටෙස්ට් තරගවලට සහභාගි වීමට මෙරටට පැමිණියේ මීට වසර 7කට පෙරය.

කෙසේ වෙතත් ඊට පසුව ශ්‍රී ලංකාව ටෙස්ට් තරගමාලා 3කට නවසීලන්තයේදී ක්‍රීඩා කර අතර එම තරගමාලාවන්හීදී ශ්‍රී ලංකාව පරාජයට පත් විය. ඒ 2014 – 2015 තරග 2 – 0, 2015 – 2016 තරග 2 – 0, සහ 2018 – 2019 තරග 1 – 0 ක් වශයෙනි.

එහිදී එක් තරගයක් ජය පරාජයකින් තොරව නිමාවට පත් විය.