FAST NEWS

24×7 Around the Globe

ලංකාවට ලබාදෙන ආධාර නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ තවදුරටත් ඉහළට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ‍්‍රී ලංකාවට ලබාදෙන ආධාර නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ශේෆර් මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදීයි.

හදිසි කාලගුණික වෙනස්වීම්වලට මුහුණ දී සිටින කාෂිකාර්මික ක්ෂේත‍්‍රය සහ වාරි කර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති, කාලගුණික ප‍්‍රත්‍යස්ථිත මෙහෙයුම් හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල වැව් ප‍්‍රතිසංස්කරණය සදහා සහය වීම මෙම නව මෙහෙයුම්‍ ත්‍රිත්වයට ඇතුළත්ය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය හා ආර්ථිකය කෙරෙහි එහි බලපෑම පිළිබදව අදහස් දක්වමින් හාර්ට්විග් ශේෆර් මහතා කියා සිටියේ සවිමත් ආර්ථික පදනමක් මත පිහිටා ශ‍්‍රී ලංකාවට අඛණ්ඩවම ගෝලීය ණය ආධාර ලබා ගැනීමට හැකිවන පරිදි අයවැය පරතරය අවම කර ගැනීම සදහා ලෝක බැංකුවේ මූල්‍යමය සහය ලබාදෙන බවයි.

ලෝක බැංකු කලාපීය ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ හමුවේ ප‍්‍රධානත්වය දැරීමට දිවයිනට පැමිණ සිටින ශේෆර් මහතා මෙහි දී වැඩිදුරටත් සදහන් කළේ ලෝක බැංකුව සිය වාර්ෂික සැසිය පැවැත්වීමට ශ‍්‍රී ලංකාව තෝරා ගනු ලැබුවේ පාස්කු ප‍්‍රහාරයෙන් පසු නැගී සිටීමට ශ‍්‍රී ලංකාව දරන උත්සහයට සහයෝගය දැක්වීමක් ලෙස බවයි.