FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරායේ නැගෙනහිර බහාලු පර්යන්තය සංවර්ධන ගිවිසුමට අත්සන් තැබෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොළඹ වරායේ නැගෙනහිර බහාලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීය රාජ්‍යයන් අතර සහයෝගීතා ගිවිසුම ඊයේ (28) දිනයේදි අත්සන් කළ බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාශය පවසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා ජපාන තානාපතිවරයා මෙම ගිවිසුම සඳහා අත්සන් තබා ඇත.

අදාළ ව්‍යාපෘතිය මඟින් මෙම රාජ්‍යයන් ත්‍රිත්වය අතර පවත්වාගෙන ආ දිගුකාලීන සම්බන්ධතා සහ සහයෝගීත්වය වර්ධනය කර ගැනීම ප්‍රධානතම අරමුණක් වි තිබේ.

ඒ අනුව, කොළඹ වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙන්ම කලාපීය සෞභාග්‍යය සහ ගෝලීය වෙළඳ ජාලය තුළ කොළඹ වරායේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ ඉන්දියාව සහ ජපානය එක්ව කටයුතු කෙරෙණු ඇත.

නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවන බවත් යෝජිත පර්යන්ත මෙහෙයුම් සමාගම විසින් සිදුකරන සියලුම මෙහෙයුම්වලින් 51%ක කොටස් ශ්‍රී ලංකාව සතුවන බවද ,එසේම හවුල් පාර්ශ්වයන්ට මිලදී ගතහැකි කොටස් ප්‍රමාණය 49% ක් බව එම අමාත්‍යාශය කියයි.

එසේම මෙම ව්‍යාපෘතිය සඳහා ලබා ගැනීමට අදහස් කරන ජපාන ණය, ශ‍්‍ර‍්‍රී ලංකාවට මෙතෙක් ලැබුණු යහපත්ම ණය කොන්දේසි යටතේ ලැබෙන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.