FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කමීටු වාර්තාවට ජනපතිගෙන් සතියක් කල් ඉල්ලයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිද‌ා (21) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව සිය අවසන් වාර්තාව ලබා දීම සඳහා තවත් සතියක පමණ කාලයක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
සම්පූර්ණ වාර්තාව බාර දීම කල්යන බැවින් පරීක්ෂණ කටයුතු පිළිබඳ අතුරු වාර්තා දෙකක් කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත මේ වන විට බාර දෙනු ලැබ ඇත.
එහි පළමු අතුරු වාර්තාව ඉකුත් 30 වැනිද‌ා ද දෙවැනි අතුරු වාර්තාව ඉකුත් 7 වැනිද‌ා ද ජනාධිපතිවරයා වෙත බාර දී ඇති අතර ජනාධිපතිවරයා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අතුරු වාර්තා දෙකම නීතිපතිවරයා වෙත යවා ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
ඒ අනුව කමිටුවේ සම්පූර්ණ වාර්තාව මේ සතිය තුළදී ජනාධිපතිවරයාට බාරදෙනු ඇත.
ඉකුත් අප්‍රේල් මස 21 වැනිද‌ා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය.
හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
කමිටුව, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ගෙන් ද මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.