FAST NEWS

24×7 Around the Globe

හතුරුසිංහගේ ඉරණම ගැන ඇත්ත ඇෂ්ලි ද සිල්වා හෙළි කරයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුමකට එළැඹී සිටින පුහුණුකරු හතුරුසිංහගේ සේවා කාලය අවසන් කිරීමට තීරණයක් ගෙන ඇති බවට පැතිර යන කතා අමූලික බොරුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇෂ්ලි ද සිල්වා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
 ශ්‍රී  ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වූ එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව නැවත ශ්‍රී  ලංකාවට පැමිණෙන ලෙසට ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහට කරන ලද හදිසි දැනුම්දීමත් සමඟ මෙම කතා නිර්මාණය විය.
දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය ජයගත්තද මෙම තරගාවලියේදී ලද එක් දින තරග 05 ක පරාජයත් සමඟ නොකඩවා එක්දින තරග 08 කදීම ලද පරාජයත් සමඟින් හතුරුසිංහගේ රාජකාරිය පිළිබඳව ප්‍රශ්නයක් මතුව ඇති බව නව ශ්‍රී  ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාද පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
කෙසේවෙතත් එක්  දින තරගාවලියෙන් පසුව පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ප්‍රධාන පුහුණුකරු තනතුර වත්මන් පන්දුරැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන්ට භාරදීමටත් ඈෂ්ලි ද සිල්වා මහතා හදිසියේම දකුණු අප්‍රිකාවට ගොස් කණ්ඩායම හමුවීමටත් හේතු හෙතෙම සඳහන් කළේය.
“හතුරුසිංහ මේ මස 27දා සිට සති දෙකක කාලයක් නිවාඩු යෑමට අවශ්‍ය බව දන්වා තිබුණා. ඒනිසා ඊට කලින් ලෝක කුසලාන තරගාවලිය ගැන ඔහු සමඟ සාකච්ඡා කළ යුතු නිසයි එක්දින තරගාවලියෙන් පසුව ඇවිල්ල අපි හමුවෙන්න කීවේ. ඒ අනුව ඔහු හෙට (19) ලංකාවට එනවා. ඇවිල්ලා ලෝක කුසලානයට අවශ්‍ය අනාගත සැලැසුම් සාකච්ඡා කිරීමෙන් පසුව ඔහු නැවත 26දා හෝ 27දා නිවාඩුවට ඕස්ට්‍රේලියාව බලා යාවි. මම හදිසියේම දකුණු අප්‍රිකාවට ගියේ වැඩබලන පුහුණුකරු රික්සන් හා කණ්ඩායම සමඟ සාකච්ඡා කොට අවශ්‍ය කටයුතු සැලැසීමටයි”