FAST NEWS

24×7 Around the Globe

අලුත් මන්ත්‍රීරවරු තැන් තැන්වල කිය කිය ගිය තමන් කැමති අමැතිකම් ලැයිස්තුව මෙන්න.

තමන්ට ඉදිරියේ දී ලබා ගැනීමට කැමති අමාත්‍යංශ පිළිබඳව වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත විවිධ ලෙස අදහස් දක්වනවා.

මුදල් අමාත්‍යංශයට සුජීව සේනසිංහ මහතා කැමැත්ත දක්වා ඇති අතර තවත් අවස්ථාවක අජිත් පී.පෙරේරා මහතා බුද්ධ ශාසන අමාත්‍යංශයට කැමැත්ත දක්වා තිබෙනවා.

ඇතැම් මන්ත්‍රීවරු කැමති අමාත්‍යංශ පිළිබඳව මාධ්‍ය වෙත පල කර තිබූ අදහස් කිහිපයක් පහත දැක්වෙනවා.

මුදල් අමාත්‍යංශය – සුජීව සේනසිංහ

මුදල් අමාත්‍යාංශය ලැබෙනව නම් මම කැමැතියි. මට තිබෙන ව්‍යාපාරික පසුබිම සහ නීති ක්ෂේත්‍රයේ පසුබිම මත රටට විශාල සේවයක් ඒ තුළින් කරන්න පුළුවන් කියල මම හිතනවා. මුදල් අමාත්‍යාංශය හරහා මේ රටේ නව කර්මාන්ත ඇති කරල නව පර්යේෂණාගාර ඇති කරල රටේ ආර්ථිකය ගොඩනංවන්න අපි ළඟ තව අදහස් තිබෙනවා. මේ රටේ කෘෂි කර්මාන්තය නව තාක්ෂණයත් එක්ක විශාල දියුණු තත්ත්වයකට ගෙන එන්න පුළුවන්. සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල පවතින තත්ත්වයට මේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය දියුණු කරන්න මට ලොකු දැනුමක් තිබෙනවා.

හොරු අල්ලන ඇමැතිකම – රන්ජන් රාමනායක

මට ලොකු තරගයක් තිබුණා. එතැන කැබිනට් ඇමැතිවරු, දිස්ත්‍රික් නායකයෝ, රාජ්‍ය ඇමැතිවරු, මහ ඇමැතිවරු හිටියා. නමුත් මට වැඩිම මනාප ලැබුණේ මම බඩු බෙදලා නෙවෙයි. මිනිස්සු මගෙන් බලාපොරොත්තු වෙන්නේ හොරු අල්ලන එකයි, තිත්ත ඇත්ත කතා කරන එකයි. ඒ නිසා මම අගමැති තුමාගෙන් ඉල්ලීමක් කළා මට හොරු අල්ලන එකක් දෙන්න කියලා. ඒත් ඉතින් එහෙම එකක් නෑනේ. මම වැඩිපුර සේවය කළේ මැදපෙරදිග ගිහින් තාඩන පීඩනවලට ලක්වෙන අපේ කාන්තාවෝ වෙනුවෙන්. ඉතින් අපි බලමු ඒ වගේ අමාත්‍යාංශයක් ලැබෙන එක ඔළුවට ලොකු බරක්. නමුත් ඒ අය වෙනුවෙන් කරන සේවයම ඇති ලක්ෂවාරයක් නිවන් දකින්න.

ඕකට නම් උත්තර දෙන්නෙ නෑ – චන්දිම වීරක්කොඩි

මේ අවස්ථාවල ඕවට නම් උත්තර දෙන්න බෑ. ඕක හරියට නරියයි මිදිවැලේ කතාවයි වගේ. අමාත්‍යාංශයක් ලැබුණොත් වැඩ කරන එක වෙනම වැඩක්.

වතු මිනිසුන්ට සේවය කරන්න පුළුවන් දෙයක් – පාලිත තෙවරප්පෙරුම

වතුවල ඉන්න මිනිස්සු හරියට වහල්ලු වගේ දහදුක් විඳිනවා. මට ඇත්තටම ඒ මිනිස්සු ගැන ලොකු කැක්කුමක් තියෙනවා. ඒ නිසා ඒ මිනිසුන්ව නියෝජනය කරන්න පුළුවන් දෙයක් ලැබෙනවා නම් මම සතුටුයි. අඩු ගානේ පෙනී සිටින්නවත්, අවස්ථාවක් ලැබෙනවා නම් මම කැමැතියි.

ඕන දෙයක් අහන්න ඕක නම් අහන්න එපා -සරත් අමුණුගම

මේ වෙලාවේ ඕක ගැන නම් අහන්න එපා. ඇමැතිකම් ගැන මහ විශාල කතාබහක් තියෙන වෙලාවක්නෙ මේක. වෙන ඕන දෙයක් අහන්න.

දැනුමටයි පළාතටයි අනුව හොඳම එකක් ලැබෙයි – ගයන්ත කරුණාතිලක

ඕනෑම කෙනකුගේ යටි හිතේ මට මේක තියෙනවනම් හොඳයි කියලා සිතුවිල්ලක් තියෙන්න පුළුවන්. නමුත් අපි මේ තැනට ගෙනල්ල තියෙන ජනතාව ගැන ප්‍රථමයෙන්ම හිතන්න ඕන.දක්ෂතාව, හැකියාව, දැනුම සහ අපි ඉන්න පළාත අනුව ජනාධිපතිතුමයි, අගමැතිතුමයි මට හොඳම අමාත්‍යාංශයක් භාර දේවි. ජනතාවට සේවය කරන්න මට හොඳම තැන පසුගිය කාලයේ මම කළ කැපවීම හා වැඩ කටයුතු එක්ක එතුමන්ලා භාර දේවි.

දකුණු පළාතේ ජනතාව මාව ඉහළින්ම ඔසවා තැබුවා. ඒ ජනතාවට වගේම රටේම ජනතාව වෙනුවෙන් සේවය කරන්න මම ලෑස්තියි. අපි දේශපාලනයෙන් හම්බ කරන අය නෙවෙයි. ඒක නිසා මම කැමැති එක නෙවෙයි ජනතාව වෙනුවෙන් හොඳින්ම සේවය කරන්න පුළුවන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා හඳුනාගත් මගේ හැකියාවන් එක්ක ලැබෙන හොඳම තැන අවංකව කැපවීමෙන් මම කටයුතු කරනවා.

සෞඛ්‍ය හෝ ළමා හා කාන්තා – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

මගේ පළපුරුද්ද තියෙන්නේ සෞඛ්‍ය අංශයේ. මම ඒකෙ අවුරුදු 24ක් වැඩ කරලා තියෙනවා. ප්‍රජා සෞඛ්‍ය
විශේෂඥ වෛද්‍යවරියක් විදියට තමයි මම කටයුතු කරන්නේ. ඉතින් ළමා හා කාන්තා අංශයෙන් මම ලොකු වැඩ කොටසක් කරනව. ඒක නිසා සෞඛ්‍ය හෝ ළමා හා කාන්තා ක්ෂේත්‍රයේ ඇමැතිකමක් ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් මම ඇමැතිකම් ඉල්ලලාවත් මට දෙනව කියලාවත් නැහැ.

හොඳම එක තේරීම් කමිටුවෙන් ලැබෙයි – එරාන් වික්‍රමරත්න

එහෙම කැමැතිම කියලා එකක් නැහැ. ටීම් එකේ ලීඩර් සහ තේරීම් කමිටුවක් ඉන්නව. එතකොට අපි පිතිකරුවො පන්දු යවන්නෝ කොයි කොයි ආකාරයට කණ්ඩායමට ඇතුළත් වෙන්න ඕනැද කියන එක එයාලා තීරණය කරාවි. අපට තියෙන්නේ ලැබෙන ස්ථානයේ කඩුල්ල රැකගෙන හයේ පාරවල් ගහන්න. විෂය ක්ෂේත්‍රයේ අමාත්‍යාංශයෙන් අමාත්‍යාංශයට වෙනස් වෙනව. එතකොට ඒවාට අදාළ දැනුම අපි ළඟ සමහර විට තියෙනව, සමහර විට අඩු වෙනව. එතකොට අපිට හොඳම තැන මොකක්ද කියලා තේරීම් කමිටුව තීරණය කරල ලබා දේවි.

මේ වෙලාවේ ඕවට මාව දාගන්න එපා – අනුර ප්‍රියදර්ශන යාපා

මට නම් එහෙම එකක් නැහැ. මාව නම් දාගන්න එපා ඕවට මේ වෙලාවේ.

නියෝජ්‍යත් එපා රාජ්‍යත් එපා කැබිනට් ඇමැතිකමක් – පාලිත රංගේ බණ්ඩාර

මම කැමැති ඇමැති ධුරයක් කියල එකක් නැහැ. ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන්න මට හැකියාව තිබෙනවා. මං හිතනවා නියෝජ්‍ය හෝ රාජ්‍ය හෝ නොවන හොඳ කැබිනට් ඇමැතිකමක් පුත්තලම දිස්ත්‍රික්කයට ලැබෙයි කියලා. අපි දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරල තියෙනව ජනතාව මාව ඉහළින්ම මේ පාර්ලිමේන්තුවට පත් කරල තිබෙනවා. ඉතින් හොඳ අමාත්‍යාංශයක් ලැබෙයි. ඒකෙන් මේ ජනතාවට සේවය කරන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තුවක් තියෙනවා.

දෙන එක හරියට කරනවා – හරීන් ප්‍රනාන්දු

දේශපාලනය තුළ තමන්ගෙ කියල එහෙම දෙයක් තියෙන්න බැහැනේ. මම කැමැති එක නෙවෙයි දෙන වැඩේ හරියට කරලා ජනතාවට සේවය කරන එක තමයි වැඩේ. මම පසුගිය කාලේ විවිධ ක්ෂේත්‍රවල වැඩ කළා. අමාත්‍යාංශවල ලේකම්වරු, උපදේශකවරු ඉන්නවා ඔවුන්ට අවශ්‍ය කරන මාර්ගය සකස් කරල දීල ජනතා සේවය කරන්න ඕන. අලුත් අදහස් දෙන්න ඕන. නිලධාරීන් නිසි මාර්ගයේ මෙහෙයවන්න ඕන. ඕකයි වැඩේ. මගේ ආසාව නෙවෙයි ඕනම ක්ෂේත්‍රයක වැඩකරන්න පුළුවන් ඕක තමයි වඩා වැදගත්.

මගෙ ෆයිල් එක බලලා දෙයි – වසන්ත අලුවිහාරේ

මගේ දේශපාලන ජීවිතේ අවුරුදු 27ක් වෙනවා. අපි හැමෝගෙම ෆයිල් එකක් පක්ෂ මූලස්ථානෙ තියෙනවා. ඒක බලල පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරයි සුදුස්සාට සුදුසු තැන මොකක්ද කියන එක. මම හිටපු ජේ‍යෂ්ඨ ඇමැති කෙනෙක්. මට ඕන තැනක වැඩකරන්න පුළුවන්.

බුද්ධ ශාසන අමාත්‍යාංශය – අජිත් පී. පෙරේරා

මං කැමැතියි බුද්ධශාසන අමාත්‍යාංශයට. මං පන්සිල් රකින බෞද්ධයෙක්. බුද්ධ ශාසනයට සේවය කරන්න ලැබෙනව නම් ඒක මහත් භාග්‍යයක් ලෙස සලකනවා.