FAST NEWS

24×7 Around the Globe

කුඹුරු ඉඩම්වල බැකෝ වලින් පතල් කැපීමට තිබූ තහනම ඉවත් කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුඹුරු ඉඩම්වල යාන්ත‍්‍රික පතල් කැපීමට යළි අවසර දීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.
කුඹුරු ඉඩම්වල යාන්ත‍්‍රික පතල් කැපීමට අවසර නොදෙමින් නිකුත් කළ 24/2018 දරණ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ චක‍්‍රලේඛයට සංශෝධනයක් එක්කරමින් පෙබරවාරියේ සිට නිකුත් කළ 24/2018 (සංශෝධන) චක‍්‍රලේඛයෙන් අදාළ අවසරය ලබාදෙනු ඇත.
මෙම නියෝගයත් සමඟ රජයේ පුරන් කුඹුරු යළි අස්වැද්දීමේ වැඩසටහනට කණකොකා හඬනු ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයෝ අවධාරණය කරති.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ පුරන් කුඹුරු ප‍්‍රමාණය අක්කර 8745 ක් බවට හඳුනාගෙන ඇති අතර ඒ පුරන් කුඹුරු යළි අස්වැද්දීමට ගොවීන් උනන්දු වෙද්දී කුඹුරුවලට විනාශය ගෙනා බැකෝ ඇතුලු යන්ත‍්‍ර යොදා මැණික් ගැරීමට අවසර දීමෙන් ගැටලු රැසක් මතුව ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
වගා නොකළ පුරන්ව ඇති වගාකළ හැකි අක්කර 4152 ක් 2019 යල් කන්නයේ අස්වැද්දීමට අපේක්‍ෂිත තිබුණ ද යළිත් වරක් කුඹුරුවල බැකෝ පතල් කැපීමට අවසර ලබාදීමෙන් එම වැඩපිළිවෙළ අසාර්ථක වනු ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ අවධාරණය කරති.