FAST NEWS

24×7 Around the Globe

ඇමති මණ්ඩලය දිවුරුම් දීම තුන් වෙනි වරටත් කල් යයි.

නව රජයේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම යළිත් කල් යන ලකුණු දක්නට ඇතැයි දේශපාලන ආරංචි කියයි.

ලබන 2වැනිදාට දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහතා කලින් ප්‍රකාශ කළත් එය සැප්තැම්බර් 4 වැනිදා දක්වා කල් යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.

ජාතික රජයක ඇමැති මණ්ඩලය සාමාජිකයන් 30දෙනකුට වැඩි වන හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතුව ඇත.

සැප්තැම්බර් 1 වැනිදා පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙයි. එම විවාදයට දවසක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ රජයට දන්වා ඇත. ඒ අනුව දිවුරුම් දීමේ දිනය කල් යාම නොවැළැක්විය හැකි බව වාර්තාවේ.

මේ අතර අද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසුවේ ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරුන් සැප්තැම්බර් 2 වැනිදා දිවුරුම් නොදෙන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සර උත්සවයද සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වෙන බවත් එයද ඇමැතිවරුන්ට එදින දිවුරුම්දීමට ගැටළුවක් වන බවත් දිසානායක මහතා කීවේය.