පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවට එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් විපක්ෂ නායක ධුරය සන්ධානයට නොලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශාරදයෝ පවසති.
එසේ වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ පක්ෂයක් වීම නිසාය. සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගත්තද ඔවුන්ට විපක්ෂ නායක ධුරයට අයිතිවාසිකම් කිවනොහැකි බවද ඔවුහු පෙන්වා දෙති.
එසේ වුවහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවන්නේ ඊළඟට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින ඉලංගෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ ජාතික සන්ධානයටය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ගණන 16 කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇමැති ධුර ලබාගතහොත් විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටීමට තම පක්ෂය බලාපොරොත්තු වන බව දෙමළ සන්ධානයේ ලේකම් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා ඇත.








