FAST NEWS

24×7 Around the Globe

තිසර පෙරේරාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ ලිපියක්..

පසුගිය නවසීලන්ත සංචාරය සමයේ සමාජ ජාල වෙබ් අඩවි තුළ පළවූ සටහනක් සම්බන්ධයෙන් ඇතිවූ කතිකාව සම්බන්ධයෙන් ,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානි ඈෂ්ලි ද සිල්වා මහතාට ලිපියක් යොමු කර තිබේ.

සමාජ මාධ්‍ය තුළ ඇතිවූ මෙම කතාබහ හේතුවෙන් තමා දැඩි මානසික පීඩනයකට ලක් වූ බව, තිසර පෙරේරා සිය ලිපිය මගින් අවධාරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

එසේම කිසිවිටෙක තමා ඉහළ නිලධාරීන්ගෙන් හෝ තේරීම් කමිටු සමාජිකයින්ගේ විශේෂිකරණය යටතේ කණ්ඩායමට එක් නොවු බවත්, තමා පිළිබඳව සඳහන් කරමින් වගකිය යුතු පුද්ගලයින් සිදු කරන චෝදනා හමුවේ ජනතාව තුළ තමා කෙරෙහි ඇති විශ්වාසය ද බිඳ වැටීම වැළැක්විය නොහැකි බවද එම ලිපියේ සඳහන්ව තිබේ.

අදාළ සටහන මාධ්‍ය තුළ කතාබහට ලක්වීමත් සමග ක්‍රීඩා විවේකාගාරය තුළදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනකු අතර ඇතිවූ මෙම තත්ත්වය යොවුන් ක්‍රීඩකයින්ට ද අයහපත් පූර්වාදර්ශයක් වූ බව ඔහු පවසා තිබේ.

තමාගේ එකම අභිප්‍රාය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම බව ද තිසර යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අභිමුව සිටින අවස්ථාවකදී කණ්ඩායමේ අභිප්‍රාය විය යුත්තේ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම මිස සමාජ මාධ්‍ය තුළ පළවන මෙවැනි දෑ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම නොවන බව ද තිසර පෙරේරා පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර නායකත්වයක් යටතේ කණ්ඩායමක් ලෙස ඉදිරියට යාම මිස කොටස් වශයෙන් බෙදී වෙන්ව කටයුතු කිරීමෙන් ඵලක් නොවන බව හෙතෙම පවසා තිබේ.

එසේම මෙම ලිපියේ සඳහන් කරුණු පිළිබඳ විභාගයක් සිදු කිරීමට අවශ්‍ය නම් තමා ඒ වෙනුවෙන් පෙනි සිටීමට සූදනාම් බව ද තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානියාට දැනුම්දී ඇති බවත් පැවසේ.