මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගෙන ගොස් ඝාතනය කර ඇතැයි සැක කළ හැකි තොරතුරු රැසක් රහස් පොලිසියට හමුවී ඇතැයි වාර්තා වනවා.
යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙක්, මාණ්ඩලික සැරයන්වරයෙක්, කෝප්‍රල්වරයෙක්, විශ්‍රාමික සැරයන්වරයෙක් සහ පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් දෙදෙනෙක් මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර තිබෙනවා.
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශ රටක ජීවත්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගිය කාලයේ දී ප්‍රකාශ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඒ මහතාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.
මාධ්‍යවේදී එක්නැලිගොඩ ජීවතුන් අතර සිටින බවට අසත්‍ය ප්‍රකාශ කරමින් මහජනතාව නොමඟ යැවීමට අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක සරණාගත තත්ත්වයෙන් ජීවත්වන බවට තමාට තොරතුරු ලැබී ඇති බවට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ද එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ මානව හිමිකම් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබුණා.
එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කෙළේ නම් ඔහු විදෙස් රටක ජීවත්වන බවට සිදු කර ඇති ප්‍රකාශ කළේ සැලසුම් සහගතවද යන්න පිළිබඳවද පරීක්ෂණ අංශවල අවධානය යොමු වී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ගිරිතලේ ප්‍රදේශයේ කඳවුරක සිරකරගෙන සිට පසුව ඝාතනය කර ඇති බවයි.
කෙසේ වෙතත් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ එම අභිරහස් අතුරුදන්වීම සම්බන්ධව රහස් පොලිසිය හෙළිකරගත් තොරතුරු නොබෝ දිනකින් අධිකරණය වෙත වාර්තා කිරීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ද අධිකරණ අවසරය මත අත්අඩංගුවට ගනු ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්ව ඇත්තේ 2010 වසරේ ජනවාරි 14 වැනි දිනයි.








