නවසීලන්තය හා පාකිස්තානය අතර පසුගියදා අබුඩාබිහිදි පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී පාකිස්තානය 2-1 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 07 වැනි ස්ථානයේ පසුවු ශ්‍රී ලංකා කණ්ඩායමට එක් පියවරක් ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී ඇත.
නවසීලන්තය සමඟ පැවැති තරගාවලියට පෙර 06 වැනි ස්ථානයේ පසුවූ පාකිස්තානය නවසීලන්තය හමුවේ පරාජය විම හේතුවෙන් ශ්‍රේණි ලකුණු 92ක් ලබා 07 වැනි ස්ථානය තෙක් පහළට වැටීම මීට හේතුව වි තිබේ.
ඒ අනුව ශ්‍රේණිගත ලකුණු 93ක් ලබා සිටින ශ්‍රී ලංකාවට 06 වැනි ස්ථානය දක්වා පැමීණ තිබේ.
එහෙත් මේ දිනවල නවසීලන්තයේ ක්‍රිකට් තරගාවලියකට එක්ව සිටින ශ්‍රී ලංකාවට මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීමට හැකි වන්නේ නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් කරගතහොත් හෝ තරගාවලිය ජයගතහොත් පමණි.
යම් හෙයකින් නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් ශ්‍රේණිගත ලකුණු 96 දක්වාත්, 2-0ක් ලෙස ජයගතහොත් ශේ්රණිගත ලකුණු 98 දක්වාත් වැඩි කරගැනීමට හැකියාවත් පවතී.
එහෙත් තරගාවලිය 1-0ක් ලෙස නවසීලන්තය හමුවේ පරාජය ලැබුවහොත් ශේ්රණිගත ලකුණු 91ක් ලබා යළිත් හත්වැනි ස්ථානය දක්වා පල්ලම් බැසීමට ශ්‍රී ලංකාවට සිදුවන අතර, තරග දෙකම පරාජය ලැබුවහොත් ලංකාවේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 90 දක්වා අඩු වනු ඇත.







