FAST NEWS

24×7 Around the Globe

පුරැෂයෙක් බෙහෙතකටවත් නැති ගමක්.

මේක බලය අයුතු විදිහට භාවිතා කර පිරිමින්ගෙන් පිරුණු ලෝකයක්. මේ නිසාම සමහර කාන්තාවෝ පිරිමි නැති ලෝකයක් ප්‍රර්ථනා කරනවා. එකෙ තියෙන සාධාරණ අසාධාරණ බව කොහොම වුවත් කාන්තාවන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් පිරිමි දිහාට ඇඟිල්ල දික්වෙන එක වළක්වන්න බෑ.

මේ හේතු නිසා පිරිමි තහනම් කරපු ගමක් තියෙනවා. ඒකෙ නම Umoja. මේ ගම පිහිට තිබෙන්නේ උතුරු කෙන්යාවේ සම්බුරු නම් ගෝත්‍රික ජන කොටස ජීවත්වෙන ප්‍රදේශයට යාබදවයි. Umoja 1990 වසරේ ආරම්භ කර තිබෙන්නේ Rebecca Lolosoli ඇතුළු තවත් කාන්තාවන් 15 දෙනෙකුගේ එකතුවෙන්. මේ බොහෝ කාන්තාවන් එම කාලයේදී කෙන්යාවේ විසූ බ්‍රිතාන්‍ය යුධ සෙබළුන් අතින් ලිංගික හිංසනයට ලක්ව ජීවත්වීමට පමණක් වාසනාව ලැබූවන්. පසු කාලයකදී මේ හිංසනයට විරුද්ධව ඔවුන් නීතිමය පියවර ගැනීමට උත්සහ ගෙන තිබුනත් එය සාර්ථක වී නැහැ.

මීට අමතරව Umoja ලිංගික හිංසනයට, ළමා විවාහ, අංග විච්ජේදනයට සහ විවිධ හිංසනයන් නිසා පලා එන කාන්තාවන්ගේ අබය භූමියක් බවට Umoja පත්වෙලා. මේ වෙනකොට Umoja හි කාන්තාවන් 47ක් සහ ගැහැණු ළමුන් 200ක් පමණ වාසය කරනවා. කොහොම උනත් Umoja ගමේ කාන්තාවන්ගේ ස්වාධීනත්වය හේතුවෙන් ඔවුන්ට ගෝත්‍රික පිරිමින්ගෙන් එල්ලවෙන විවිධ තාඩන පීඩනවලින් නම් අඩුවක් නෑ. නමුත් මේ ගමේ නිර්මාතෘවරිය වෙන Rebecca Lolosoli පවසන්නේ තම ගම තුළ පිරිමි වගේම අංග විච්ජේදනය සහ ළමා විවාහ තහනම් කර තිබෙනවා මෙන්ම ලෝකයෙන් එවැනි සම්ප්‍රදායික මත දුරු කිරීම වෙනුවෙන් සටන් කරන බවයි. ඇය වසර ගණනාවක සිට ඒ වෙනුවෙන් ලෝක මට්ටමෙන් ක්‍රියාකරනවා.

මේ ගමට පැමිණෙන කාන්තාවන්ගේ සංඛ්‍යව දිනෙන් දින ඉහළ යන නිසාම මේ වෙනකොට පාසලක් සහ කුඩා ආරෝග්‍ය ශාලාවක් ඉදිකරන්න මේ කාන්තාවො පිරිස කටයුතු කොට තිබෙනවා. ඒවගේම ඔවුන්ගෙ පැවැත්ම වෙනුවෙන් ආර්ථික වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මකයි. ඔවුන් තමන්ගෙ ගම ආසන්නයේ සංචාරකයන් සඳහා කඳවුරු භූමියක් ඉදිකොට තිබෙනවා. ඒ වෙත එන සංචාරකයන්ට ආභරණ වැනි විසිතුරු දේ විකිණීම ඔවුන් බොහෝ දෙනෙක් ජීවිකාව ලෙස කරමින් පවතිනවා. මේ කාන්තාවන් අතරින් මේරි නම් වෙන කාන්තාව පලා ඇවිත් තියෙන්නෙ වයස අවුරුදු 16 දී ගවයන් කිහිපදෙනෙකු වෙනුවෙන් තම පියා 80 හැවිරිදි මහල්ලෙකුට ඇයව විවාහ කර දීමට උත්සාහ කිරීම නිසයි. Umoja පිළිබඳ අදහස් දක්වන ඇය පවසන්නේ සම්පත් අවම වුවත් ඔවුන්ට ඇත්තටම අවශ්‍ය දේ Umoja තුළ තිබෙන බවයි.