FAST NEWS

24×7 Around the Globe

කොළඹ තදාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්…

කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ තිබෙන දුම්රිය මාර්ග පද්ධතිය ත්‍රිත්ව සහ මාර්ග හතරක් ලෙස සංවර්ධනය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
ඉදිරි වසර 20 ක කාලයක් සඳහා මෙරට දුම්රිය සේවයෙන් ජාතික ප්‍රවාහන පද්ධතියට ලබාදිය යුතු දායකත්වය හඳුනාගෙන ඒ සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැගෙනු ඇත.
ශ්‍රී ලංකා දුම්රිය සේවය හා එක්ව ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය ‘කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය’ ලෙස හැදින්වේ.
මේ අනුව ප්‍රධාන මාර්ගයේ මරදාන සිට රාගම දක්වා පවතින ත්‍රිත්ව මාර්ගය මාර්ග 04 ක් ද , රාගම සිට වේයන්ගොඩ දක්වා පවතින ද්විත්ව මාර්ගය මාර්ග 03 ක් ද යුක්තව ඉදිකරන අතර වේයන්ගොඩ සිට රඹුක්කව දක්වා පවතින ද්විත්ව මාර්ගය නවීකරණය කිරීම ද සිදු කිරීමට නියමිතය.
මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට පානදුර දක්වා පවතින ද්විත්ව මාර්ගය මාර්ග 03 කින් යුක්ත මාර්ගයක් ලෙස ඉදිකෙරෙන අතර පානදුර සිට කළුතර දක්වා පවතින ද්විත්ව මාර්ගය ද නවීකරණය කෙරේ.