FAST NEWS

24×7 Around the Globe

හස්ත කර්මාන්ත භාණ්ඩ අපනයනය සියයට 11 කින් වර්ධනය වෙලා – ඇමති රිෂාඩ්

හස්ත කර්මාන්තය නගා සිටුවීම උදෙසා ගෙවී ගිය වසර තූළදී ගනු ලැබූ සාධනීය පියවරයන් නිසා හස්ත කර්මාන්ත භාණ්ඩ අපනයනය සියයට 11 කින් වර්ධනය වී තිබෙන බව, පසුගිය දා පැවති ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයෙන් පසුව පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
පසුගිය දා පැවැත්වුණ ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත ජාතික ප්‍රදර්ශනයෙන් රුපියල් මිලියන 12කට වැඩි ආදායමක් ලැබුණු බවත්, මෙය ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත ශිල්පීන් ප්‍රදර්ශනයකදී ලද ඉහළම හා වාර්තාගතම ආදායම වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත මහා ප්‍රදර්ශනය දින හයක් පුරා පැවතුණි. වෙළෙඳකුටි 101 ක් පැවති අතර, ශ්‍රී ලාංකීය හස්ත කර්මාන්ත නිෂ්පාදකයන්ට අමතරව ඉන්දියානු, බංගලිදේශය, නේපාලය හා මැලේසියාව යන රටවල්වල ශීල්පීන් ද සිය ප්‍රදර්ශන භාණ්ඩ ඉදිරිපත් කර තිබුණි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.
” අපගේ හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ දියුණුව ගැන අපට සතුටුයි. මෙම ප්‍රදර්ශනයෙන් වාර්තාගත ආදායමක් උපයාගෙන තිබෙනවා. ඒ අනුව අපගේ ශිල්පීන් රුපියල් මිලියන 12 ක පමණ වාර්තාගත ආදායමක් උපයලා තියෙනවා. ඒ වගේම අපේ ශිල්පීන්ට ලැබුණු ඇනවුම් ප්‍රමාණය රුපියල් මිලියන 2.1 ක් පමණ වෙනවා. ජාතික ශිල්ප සභාව ලබාගෙන තිබෙන කාර්ය සාධනය ගැන අප සතුටු වෙනවා. ඒ වගේම උතුරු නැගෙනහිර පළාත්වල පාරම්පරික රෙදිපිළි හා කාන්තා අත්කම් නැවත නගා සිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ සදහා ජපානය පදනම් කරගත් ආසියානු ශාන්තිකර කලාපයේ පාරම්පරික උරුමයන් පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානය හා යුනෙස්කෝ සංවිධානය සහයෝගය ලබා දෙනවා. ඒ පිළිබදව ඔවුන්ට අපේ ප්‍රණාමය පුදකර සිටිනවා. මේ වන විට ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි හස්ත කර්මාන්ත ශිල්පීන් 26,000 ක් පමණ සිටිනවා. ඔවුන්ට මනා පුහුණුවක් ලබා දී, ඔවුන්ගේ අත්කම්වල ප්‍රමිතිය ඉහළ නංවමින් හොඳ වෙළෙඳපොළක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මෙම පුහුණුව ලබා දීමට අප රට පුරා පුහුණු මධ්‍යස්ථාන 112 ක් පිහිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත හා සංඛ්‍යා ලේඛනවලට අනුව අත්කම් භාණ්ඩ අපනයනය 2016 සිට 2017 වර්ෂය දක්වා සියයට 11 කින් වර්ධනය වී තිබෙනවා. අප 2016 දී අත්කම් භාණ්ඩ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 56 ත් ලැබුණු අතර, 2017 වසරේදී එය ඇමරිකානු ඩොලර් මිලියන 61 දක්වා වැඩි වී තියෙනවා. එය ඉතා සතුටුදායක තත්ත්වයක්” යැයි පැවසීය.