FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත‍්‍රිපාලගේ එජා සමුළු ඇමරිකානු සංචාරයට වියදම් සැකසෙද්දී මහින්දගේ බිල්පත් කිහිපයක් මතු වේ .

ලබන සැප්තැම්බර් මස 30 වන දින ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පවත්වන්නට නියමිත එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන්නට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ලංකාව නියෝජනය කරමින් එහි යාමට නියමිතය.

මේ දිනවල විදේශ කටයුතු අමාත්‍යංශය ඒ වෙනුවෙන් අදාළ නවාතැන් හා ගමන් වියදම් පිළිබඳ සැලසුමක් සකස් කරන අතර එසේ සකසද්දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ මෙම සමුළුව අමතන්නට ඔහු ගිය නිව්යොර්ක් සංචාරයට අදාළ බිල්පත්හා ලිපිලේඛන තොගයක් හමුවී ඒ පිළිබඳ විමති සහගත තොරතුරු පිරික්සා ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ පවුලේ උදවිය ඇමරිකාවේ නවාතැන්ගත් සුපිරි ලක්ෂරි තරු හෝටලයේ නවාතැන්ගැනීම සඳහා පමණක් වියදම රුපියල් ලක්ෂ 160 කි. ඔහුට අමතරව එහි ගමන් කළ ඇමතිවරුන් උපදේශකවරුන් ආරක්ෂකයින් සඳහා ලක්ෂ 47 කට ආසන්න වියදමක් දරා ඇත.

මෙම පිරිස එහි ගත කළ දින 14 තුළ සංචාරයේ විශේෂ ඇල්බමයක් තැනීම සඳහා ඇමරිකානු වෘත්තීය ඡුායාරූප ශිල්පීන් කුලියට ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 32 ක වියදමකිනි.
මෙම වියදම් වලට අමතරව කුලියට ගත් වාහන,ජංගම දුරකථන,බාහිර ආහාර ආදියද එකතුවී සංචාරයේ මුළු වියදම ලෙස රුපියල් ලක්ෂ 473 ක ඉන්වොයිස විදේශ අමාත්‍යංශයේ තිබී හමුවී ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. මේ සියල්ල මහජන මුදල් බවද එහි දැක්වේ.
මේ සියලූ වියදම් සලකා බැලීමේදී වැඩි හරිය නාස්තියක් ලෙස කල්පණා වන හෙයින් මෙවර මෛත‍්‍රීපාල ජනපතිවරයාගේ සැප්තැම්බර් සංචාරය අවම වියදමකින් සිදු කරන්නට උපදෙස් ලැබී ඇති බවද වාර්තා වුණා.