FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම පිළිබඳව අධිකරණයට දැනුම් දෙයි..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කර ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා අද (03) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.
ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙ පිළිබඳව අධිකරණයට දැනුම් දීමට කටයුතු කළේය.
ඉකුත් ක්‍රිකට් නිලවරණය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් බාරදී ඇති නාම යෝජනා පත්‍රය නීති විරෝධී බවට තීන්දු කර එය ප්‍රතික්ෂේප කරන මෙන් ඉල්ලා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් ගොනුකළ පෙත්සම අද (03) කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණී.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කර මෙරට ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් ,ඒ යටතේ ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා ස්වාධීන නිරාවරණ කමිටුවක් ස්ථාපිත කරන බවත් ඊට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ධුරය හෝ ඊට ඉහල ධුරයක් දරණ පුද්ගලයින් දෙදෙනෙකු සහ මැතිවරණ කොමිසමේ මැතිවරණ කටයුතු පිළිබඳ පළපුරුද්දක් සහිත නිලධාරියෙකු පත් කිරීමට තීරණය කර ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.
සැප්තැම්බර් මස අවසන් වීමට ප්‍රථම ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඉන් අනතුරුව ක්‍රිකට් ආයතනය සඳහා නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් දන්වා සිටියේ.
පෙත්සම්කාර නිශාන්ත රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම පෙත්සම විභාග කිරීම සඳහා දිනයක් නියම කරන මෙන් ඉල්ලීම් කළ අතර ,ඒ අනුව නඩුවට අදාළ විරෝධතා ඔක්තෝබර් මස 05 වැනිදා ඉදිරිපත් කරන මෙන් නියම කළ අභියාචනාධිකරණය, ඊට අදාළ ප්‍රතිවිරෝධතා ඔක්තෝම්බර් මස 26 වැනිදා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට නියම කරමීන් පෙත්සම් විභාගය නොවැම්බර් මස 30 වනදා පැවැත්වීමට නියම කෙරුණී.
DE සිල්වා