සිය සොහොයුරාගේ මරණය පිලිබඳ නිසියාකාර පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රමාද වීම පිලිබඳ වගකීම ගත යුත්තේ රාජ්‍ය ආයතන කිහිපයක් විසින් බව රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ සොයුරිය වන අයිෂා තාජුදීන් පවසා සිටියි
දිනපතා පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් පවසා සිටින්නේ සොහොයුරාගේ මරණයෙන් පසු තමා හා තම පවුලේ අය වසර දෙක හමාරක් පුරා නිහඬව සිටියේ සාධාරණ හේතු මත බවයි. පවුලේ සාමාජිකයෙකු අභිරහස් ලෙස මරණයට පත්වූ විට කිසිම අයෙකු සාධාරණ හේතුවක් නොමැතිව හිතාමතාම නිහඬව නොසිටින බව ඇය එහිදී පෙන්වා දුන්නාය.
“මරණයට හේතුව සොයාගැනීමට අධිකරණ වෛද්‍ය නිලධාරියාට වසර එක හමාරක් ගතවුනා. රජයේ රස පරීක්ෂකවරයාට එම වාර්තාව ඉදිරිපත් කිරීමට තවත් වසර එක හමාරක් ගතවුනා. වසර තුනක්ම අපතේ ගියේ මේ රජයේ ආයතන වල ප්‍රමාදය නිසා.” අයිෂා ප්‍රකාශ කළාය.
එමෙන්ම මරණය පිලිබඳ පරීක්ෂණ කඩිනම් වූවේ මෙම වසරේ ජනවාරි මාසයෙන් පසුව බවත් එම නිසාම මේ වන විට පරීක්ෂණ පැවැත්වෙමින් පවතින ආකාරය පිලිබඳ තමාට හා පවුලේ සාමාජිකයන්ට සෑහීමකට පත්විය හැකි බවත් ඇය පැවසුවාය.
වසීම් තාජුදීන්ගේ මරණය සිදුවීමෙන් අනතුරුව අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කෙරුණු බවද ප්‍රථම වරට සාක්ෂි විමසීමේදී මහේස්ත්‍රාත්වරයා හමුවේ සොයුරාගේ මරණය සැක සහිත නමුත් ඒ වෙනුවෙන් සැක කරන්නේ කවරෙක්දැයි තමන් සඳහන් නොකළ බවත් අයිෂා තාජුදීන් ප්‍රකාශ කළාය.
“නඩුව බොහෝ වාර ගණනක් අධිකරණය ඉදිරියේ විභාගයට ගැනුණා. නමුත් ඒ දිනවල අපට කිසිවෙකුගේ සහයක් තිබුනේ නෑ. එම නිසා අප සිතුවා වසීම්ගේ මරණය පිලිබඳ හඬක් නැගීමට සුදුසු කාලය එය නොවන බව. අප නිහඬව සිටියේ එම හේතුව නිසායි. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙයට මැදිහත් වීමත් සමඟ වසීම්ගේ මරණයට සාධාරණයක් ඉටු වේවි යන බලාපොරොත්තුව අප තුල තිබෙනවා” ඇය පැවසුවාය.
හිටපු ප්‍රභූවරයෙකුගේ පුත්‍රයෙක් වසීම් තාජුදීන්ගේ මරණයට වගකිව යුතුයැයි පැතිර යන පුවත් පිලිබඳ විමසීමේදී ඒ පිලිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ අයිෂා තාජුදීන් පරීක්ෂණ පවත්වන අතරතුරදී ඒ පිලිබඳ යමක් පැවසීම සුදුසු නොවන බව පැවසුවාය.








