FAST NEWS

24×7 Around the Globe

100 කට අධික මිනිසුන් හා දරුවන් ගිල්වූ මාරාන්තික මිනිස් ජාවාරම්කරුවකු ඕස්ට්‍රේලියාවෙන් ඉන්දුනීසියාවට පිටුවහල්..

2012 වසරේදී අනවසර සංක්‍රමණිකයන් 200 දෙනකු රැගෙන ඔස්ට්‍රේලියාව වෙත සිදු කළ මාරාන්තික අනවසර මුහුදු ගමනකින් අනතුරුව මිනිස් ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් වරදකරුවකු වූ ඉන්දුනීසියා ජාතික මිනිස් ජාවාරම් කරුවකු වන ජස්තෙන් ජස්තෙන් ඉන්දුනීසියාවට පිටුවහල් කළ බව ඕස්ට්‍රේලියා බලධාරීහු පවසති.
පමණට වඩා අධික ලෙස සංක්‍රමණිකයන්ගෙන් පිරුණු බෝට්ටුවේ සිටි 100 කට අධික මිනිසුන් හා තරුණ දරුවන් ක්‍රිස්මස් දුපතට නාවික සැතපුම් සියයක පමණ දුරින් මුහුදේ ගිලී ඇති අතර තමන් නිසා සිදුවූ මෙම මරණීය වරද ගැන මෙම ඉන්දුනීසියානුවා ඔහුට එරෙහි නඩු විභාගයේදී කිසිදු පසුතැවිල්ලක් ප්‍රකට නොකළ බවද ඕස්ට්‍රේලියා නීති අංශ කියයි.
ඔහුට වසර නවයක සිර දඬුවමක් නියම ව තිබුණු අතර ඔස්ට්‍රේලියා දේශසීමා බළකායේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඔහු පර්ත් බන්ධනාගාරයෙන් ඉවත් කර ඉන්දුනීසියාවට පිටුවහල් කළ බවය.
මෙම පුද්ගලයා ඉන්දුනීසියාවට පිටුවහල් කරනු දැකීම තම සතුටට හේතු වූ බව ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩුටන් ප්‍රකාශ කළේය.