FAST NEWS

24×7 Around the Globe

විජයකලා ගැන ඥානසාර හිමියෝ කළ අමුතු ප්‍රකාශය මෙන්න..

විජයකලා මහේෂ්වරන් ගැන මම ආඩම්බර වෙනවා. මොකද, ඒ ගෑනුකෙනා තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි, තමන් වහන්සේට ආශීර්වාද කිරීම පිණිස කන්දකැටිය කන්දකැපූ උල්පත ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ පැවැති ආශීර්වාද බෝධි පූජාවක් අවසානයේ පැමිණි පිරිස වෙනුවෙන් කෙටි අනුශාසනාවක් කරමින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.
“දේශපාලන පක්ෂවලට නායකයෝ ඉන්නවා. ඒත් මේ රටට නිසි නායකයෙක් නැහැ. පත්වූ හැම නායකයෙක්ම කළේ අපිව දුර්වල කරලා බෙදලා දාපු එක විතරයි” යනුවෙන්ද ඥානසාර හිමියෝ පැවැසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ඥානසාර හිමියෝ මෙසේද කීහ.
“මේ රටට දැන් නායකයෙක් නැහැ. හැබැයි දේශපාලන පක්ෂවල නායකයෝ ඉන්නවා. නිදහසින් පසු ගෙවීගිය වසර 70ක කාලය තුළ එක්කෙනෙක් දෙන්නෙක් හැරුණුකොට අපිට හරිහමන් නායකයෙක් හිටියේ නෑ. දේශපාලකයෝ කළේ අපිව දුර්වල කරන එක. බෙදීම් ඇති කරන එක. මෙරට පාලනය කරන්න ආව පාලකයෝ අපිව දුර්වල කළා.හැබැයි විජයකලා මහේෂ්වරන් ගැන මම ආඩම්බර වෙනවා. මොකද ඒ ගෑනුකෙනා තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා.
මා සිරගත කිරීමෙන් පසු මේ රටේ විවිධ ප්‍රදේශවල භික්ෂුන් වහන්සේලා, බෞද්ධ ජනතාව විරෝධතා දක්වමින් බෝධි පූජා පවත්වමින් මා නිදහස් කර ගැනීමට කටයුතු කළා. අතීතයේ බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලද හැම කුලයකම උන්වහන්සේ ඒ කුලය වර්ගය රැකගන්න නායකත්වය දුන්නා. බුද්ධ පුත්‍රයන් ලෙස අපි මේ කරන්නෙත් අපේ ජාතිය ආගම රැකගැනීමට උත්සාහ කරන එකයි.
අපිට කන්නට කටක් තියෙනව වගේම කන්න බඩක් තිබෙනව වගේම ඉන්න රටක් තියෙන්න ඕනෑ.ප්‍රභාකරන්ලා ආයුධ අතට ගත්තේ තමන්ගේ ජාතිය ගැන හිතලා. මේ රටේ ඉන්න නායකයන්ගේ නෝංජල්කම හින්දා විජයකලා වගේ ගෑනු අපේ නායකයන්ගේ කරෙත් නඟිනවා. අපි කැප කිරීම් කරන්න ඕනෑ. ජාතිවාත්සල්‍ය ඇති කරගන්න ඕනෑ. අපි මේ කරන දේ ප්‍රතිඵල තියෙන්නේ මතු උපදින අපේ දරුවන්ට. ඒ නිසා අපි අපේ වගකීම ඉෂ්ට කරන්නට හිතට ගත යුතු යැයි මා ප්‍රකාශ කරනවා.”