FAST NEWS

24×7 Around the Globe

දුම්රිය දෙපාර්තමේන්තුවේ පුළුල් වෙනසක් සිදුකරනවා…

දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත ව්‍යූහයම පුළුල් වෙනසකට ලක් කර, විශේෂ සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්.අබේවික්‍රම මහතා සදහන් කරයි.
දුම්රිය ධාවනය මෙන්ම ආයතනයේ අභ්‍යන්තර කටයුතු සියල්ල මේ නව ව්‍යූහය අනුව වර්තමානයට ගැළපෙන ආකාරයට වෙනස් කිරීමට හැකිවනු ඇතැයිද ඔහු පවසා සිටියි.
ආචාර්ය සරත් අමුණුගම ඇමැතිවරයාගේ මෙහෙයවීමෙන් යුත් කමිටුවක් විසින් මේ නව දෙපාර්තමේන්තුව සැකසිය යුතු ආකාරය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරමින් සිටින බවද, ඒ ඔස්සේ දැනට ක්‍රියාත්මක 6/2016 චක්‍රලේඛය යටතේ මතුව ඇති ගැටලු සියල්ල විසඳී යනු ඇතැයිද සාමාන්‍යාධිකාරිවරයා සදහන් කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට අනන්‍ය වූ විශේෂ ව්‍යූහාත්මක සංවෘත සේවාවක් ස්ථාපිත කිරීමෙන් දෙපාර්තමේන්තුවේ වැටුප් තල සකස් කිරීම මෙන්ම අත්‍යවශ්‍ය සේවක බඳවාගැනීම් ඇතුළු කටයුතු සඳහා දැනට දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව, වැටුප් කොමිසම, ඇතුළු ආයතන වෙත ගොස් කටයුතු සිදු කර ගැනීම ඉවත්ව යන අතර දෙපාර්තමේන්තුවේ සේවාව කාර්යක්ෂමව පවත්වා ගෙන යෑම මෙහි මූලික අරමුණ වනු ඇත.