FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පාසල් ළමුන්ට පොත් බෑගයක්‌…

සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූල පාසල් පොත් බෑගයක්‌ වෙළෙඳ පොළට හඳුන්වා දීමට රජය තීරණය කර ඇති අතර මේ සඳහා වන විශේෂ සාකච්ඡාවක්‌ පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම පාසල් පොත් බෑගය හඳුන්වාදීම සිදුකරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග ඒකාබද්ධවයි.
වර්තමානයේ පාසල් සිසුන් භාවිත කරන පොත් බෑගය ප්‍රමිතියෙන් තොර වීම, නිවැරදිව පරිහරණය නොකිරීම සහ දරාගත නොහැකි බරකින් යුක්‌ත වීම නිසා දරුවන් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදී ඇතැයි පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.
මස්‌ පිඩු හා හන්දිවල වේදනා ඇතිවීම, ඉක්‌මනින් පීඩාවට පත්වීම, කොඳු ඇට පෙළෙහි ආබාධ ඇතිවීම, උරහිස පහත් වීම, මානසික පීඩාවට පත්වීම හා විවිධ අනතුරුවලට ලක්‌වීම වැනි ගැටලු ප්‍රමිතියෙන් තොර පාසල් බෑග් භාවිතය නිසා දරුවන්ට මුහුණ පෑමට සිදුව ඇති නිසා මෙම බෑගය හඳුන්වා දීමට නියමිතය.
මීට අමතරව ප්‍රමිතියෙන් යුත් මෙම නව පොත් බෑගය සඳහා ලාංඡනයක්‌ හා ලියාපදිංචි අංකයක්‌ හඳුන්වා දෙන අතර පොත් බෑගය තුළ කෑම බඳුන, වතුර බෝතලය දැමීම සඳහා ස්‌ථානද වෙන්කර ඇත.
මෙම බෑගය පාසල් සිසුන්ට හඳුන්වා දීමට පෙර දිවයින පුරා සිටින පාසල් පොත් බෑග් නිෂ්පාදකයින් 450ක පමණ පිරිසක්‌ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්‌ අගෝස්‌තු මාසයේ පැවැත්වීමටද තීරණය කර තිබේ.