FAST NEWS

24×7 Around the Globe

දරුවන් සහභාගී වන රියැලිටි තරගවලට ප්‍රමිතින් මාලාවක්…

දරුවන් සහභාගී කරගෙන සංවිධානය කරන ඇතැම් රූපවාහිනී රියැලිටි තරගවලදී වක්‍රාකාරයෙන් ළමා අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් හා ළමයින් අපහරණය වීමක් වන්නේ යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය චෝදනා කරයි.
ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නිර්මාණය කරගෙන ඇති ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නෛතික එකඟතා රැසක් උල්ලංඝණය වන තැනට මෙම රියැලිටි ෂෝ තරග ගමන් කර ඇතැයි ද එම නිසා අදාළ රූපවාහිනී වැඩසටහන් සංවිධානය සම්බන්ධයෙන් ප්‍රමිතින් සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරන්නේ යැයි එහි සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා පැවැසීය.
අදාළ රියැලිටි තරගවල පුහුණු කටයුතුවලදී මෙන්ම විනිශ්චය ලබාදීම් වලදී මෙම අයිතිවාසිකම් උල්ලංඝණය වීම් වන්නේ යැයි චෝදනා කළ හෙතෙම වාණිජ අරමුණු මුදුන් පමුණුවා ගනිමින් උපක්‍රමශීලී ලෙස නීතියෙන් රිංගා යාමක් එහිදී සිදුවන්නේ යැයි අවධාරණය කළේය.
විශේෂයෙන්ම ඇතැම් තරගවලදී ගැහැණු දරුවන්ගේ ශරීර විවිධ පුද්ගලයන් අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමක් සිදුවන්නේ යැයි ද එය ප්‍රශ්න නොකර අත්පොලසන් දීමෙන් සිදුවන්නේ සමාජීය වශයෙන් නිහඬ අනුමැතියක් දීම යැයි අබේරත්න මහතා කීවේය.
ඇතැම් විනිශ්චය මණ්ඩලවල සාමාජිකයන්ගේ ප්‍රකාශ නිසා දරුවන් චිත්ත වේගාත්මක වශයෙන් අපයෝජනය වීමක් සිදුවන්නේ යැයි ද එය දරුවන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනයට ඉමහත් බලපෑමක් කරන්නේ යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.