FAST NEWS

24×7 Around the Globe

විජයකලාගේ ප්‍රකාශයට රංජන්ගෙන් හා ප්‍රසන්න රණතුංගගෙන් දැඩි විවේචන…

එල්.ටී.ටී.ඊ.ය නැවත ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය නොගැලපෙන ප්‍රකාශයක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් කරමින් සදහන් කර ඇත.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර්ට සමාන කරමින් කළ ප්‍රකාශය මෙන්ම මෙයද හෙළා දැකිය යුතු බවයි. “හිට්ලර්ගෙ ප්‍රකාශය මෙන්ම අපි හැමදෙනාම හෙළා දැකිය යුතු නොගැලපෙන ප්‍රකාශයක්. අපි දැක්කා එල්.ටී.ටී.ඊ.ය සාමාන්‍ය මිනිසුන් ඝාතනය කරමින් මෙන්ම ළමා සොල්දාදුවන් බඳවා ගනිමින් එල්ලීටීය නීතිය ක්‍රියාත්මක කළ අකාරය අපි දැක්කා. අපිට ප්‍රභාකරන්වත් හිට්ලර්වත් අවශ්‍ය නෑ.”
ජනාධිපති ජනතා සේවය වැඩසටහනේ 8 වැනි වැඩ සටහන යාපනය වීරසිංහම් ශාලවේදී පැවති අතර එහිදී උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසා සිටියාය.
ඇයගේ මෙම ප්‍රකාශයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් ප්‍රසන්න රණතුංග මහතාද අදහස් ප්‍රකාශකර තිබුණි.
කොටි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව රණතුංග මහතා අවධාරණය කළේය.
විජයකලාගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වන්නේ ආණ්ඩුවේ කොටි හිතවාදී ප්‍රතිපත්තිය බවත්, දෙමළ ජනතාවගේ තුන් හිතකවත් නැති ඊළාම් සිහින දකින මෙවැනි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පමණක් නොව රටින්ද පිටුවහල් කළ යුතු බවත් හෙතෙම මෙහිදී පැවසීය.