FAST NEWS

24×7 Around the Globe

මහපොළට දෙන්න තිබුණු මිලියන 440 ක්‌ බැඳුම්කර වංචාවට යොදාගෙන..

පර්පෙචුවල් බැඳුම්කර වංචාකරුවන් මහපොළ උසස්‌ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලින්ද රුපියල් මිලියන 440 ක්‌ බැඳුම්කර වංචාව සඳහා යොදාගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (01) පවසා සිටියේය.
මෙය මාසිකව රුපියල් 5500 බැගින් වසරකට සිසුන් 270 කට වැඩි පිරිසකට මහපොළ ලබාදීමට තරම් මුදලක්‌ යැයිද ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ තෙන්නකෝන් මහතා ,
    “මහපොළ අරමුදල දූෂිත පර්පෙචුවෙල් බැඳුම්කර නිසා සිදුව ඇති පාඩුව කොපමණද යන්න තවමත් නිශ්චිතව ගණන් බලා නැහැ. මහපොළ උසස්‌ අධ්‍යාපනය ශිෂ්‍යත්ව අරමුදල් රු. මිලියන 440 ක්‌ බැඳුම්කර වංචාවට යොදාගෙන ඇත්තේ රාජ්‍ය බැංකුවක්‌ හරහා ද්විතීය මිලදී ගැනීම් සිදුකිරීම මගින්. පර්පෙචුවෙල් සමාගමට ලැබුණු අභ්‍යන්තර තොරතුරු මත සාමාන්‍ය වෙළෙඳපොළ වටිනාකමට අඩුවෙන් බැඳුම්කර මිලදී ගෙන රජයේ ඇතැම් නිලධාරීන්ට වරප්‍රසාද ලබා දෙමින් රජයේ අරමුදල්වල ආයෝජනය කිරීමට ඔවුන් පොළඹවා ගෙන තිබෙනවා.
මෙම පර්පෙචුවෙල් බැඳුම්කර වංචාව හරහා මේ වන විටත් සේවක අර්ථසාධක අරමුදල, රක්‍ෂණ අරමුදල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදල් වංචා කර ඇති බව තොරතුරු හෙළි වෙමින් තිබෙනවා. අලුත්ම අනාවරණය තමයි මහපොළ අරමුදලට වංචා කිරීම. එහි පාඩුව රුපියල් මිලියන 18 ක්‌ පමණ වනවා. මේ සම්බන්ධයෙන් අපි මහපොළ උසස්‌ අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලින් විමසීමේදී මේ පාඩුව අයකර ගැනීමට මහ බැංකුවේ හා නීතිපතිවරයාගේ උපදෙස්‌ මත නඩු පවරා තිබෙන බව ඔවුන් කියා සිටියා.”