ඔබේ ජංගම දුරකථනය මගින් ඔබේ බැංකු ගිණුමේ තොරතුරු සොයා බැලීමට ඔබ කැමතිද?
ජංගම දුරකථනය ඔස්සේ ඔබේ බැංකු ගිණුම පාලනය කිරීමට, මුදල් හුවමාරු කිරීමට, ණය මුදලක් ලබාගැනීමට, තවත් කිසිවෙකුට මුදලක් යැවීමට හෝ ඔබේ ගිණුමට කිසියම් මුදලක් ලබා ගැනීම සඳහා භාවිත කිරීමට අවස්ථාව ලැබුනොත් එයට ඔබේ ප්‍රතිචාරය කවරක්ද?
ඔබට ඒ පහසුව ලබාදීම පිණිස ‘අයිෆෝන්’ ජංගම දුරකතන වෙනුවෙන් විශේෂ මෘදුකාංගයක් හෙවත් ‘ඇප් එකක්’ නිර්මාණය කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙක් පිළිබඳ කථා පුවතක් මේ.
ඔහු ශම්මික මුණුගොඩ.
ඔහු නිර්මාණය කළ ‘ඇප් එක’ හැඳින්වෙන්නේ ‘බූමරින්ගෝ’ යනුවෙන්.
“මීට අවුරුදු දහයකට විතර කලින් ශිෂ්‍යයෙක් විදියට ඕස්ට්‍රේලියාවට ආපු වෙලාවේ මගේ අතේ සල්ලි තිබුණේ නෑ,” ශම්මික සිය අතීතය මෙනෙහි කළා.
“විශ්ව විද්‍යාලේ අවුරුදු දෙකක් විතර හිටියට පස්සේ තමයි අයිඩියා එක ආවේ. අපි කරන්නේ ඒකෙන් මිනිස්සුන්ට කොහොමද තමන්ගේ ආදායමයි, වියදමයි කළමනාකරණය කරගන්න පහසු ක්‍රමයක් හදල දෙන එක.”
කොහොම නමුත් එය පේටන්ට් බලපත්‍රයක් වන්නක් ලබා ගැනීමට තරම් අලුත් නිර්මාණයක් නම් නොවේ.
“ඇමෙරිකාවේ මේ වගේ සමාන ඒවා කීපයක් තියෙනවා.”
ඒ නිසාම ශම්මික සිය නිෂ්පාදනය බෙදා හැරීම (බාගත කිරීම) පිණිස මුදලක් අය කරන්නේ නැහැ.
එසේ නම්, එදා ‘සල්ලි නැතිව’ සිටි ඔහුට සිය නිර්මාණයෙන් ලැබෙන වාසිය කවරක්ද? මා සිත මතුවුණේ කුතුහලයක්.
ඒ ප්‍රශ්නයට ඔහුගේ මුල්ම ප්‍රතිචාරය වුනේ මඳ සිනහවක්.
“පාවිච්චි කරන අයට මේක නොමිලේ මෘදුකාංගයක්. ඒගොල්ල පාවිච්චි කළාම අපිට බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ වියදම් මොනවාද කියල. ගෑස්, විදුලි බිල වගේ දේවල්. එතකොට අපිට පුළුවන් එයාලට යෝජනා කරන්න ඊට වඩා ලාභදායකව ලබාගන්න පුළුවන් සේවාවන් ගැන.”
චකිතයක් ඇතිවුනා නේද ඔබේ සිතේ? ඔබේ බැංකු ගිණුමේ තොරතුරු ඔහුට දැකගන්න පුළුවන් කියල? බයවෙන්න එපා. ඔහුට ඔබේ නම, ගම, බැංකු ගිණුමේ අංකය හෝ ගිණුමේ තිබෙන මුදල් වැනි දේ දැකගන්න හැකියාවක් නැහැ.
දැනට ඕස්ට්‍රේලියාවේ බැංකු සම්බන්ධයෙන් පමණක් ක්‍රියා කරන සිය මෘදුකාංගය ඉතා ඉක්මනින්ම නවසීලන්තය, අයර්ලන්තය වැනි රටවල් ගණනාවකට ව්‍යාප්ත කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි.






