ඇමෙරිකාව බින් ලාඩන් අල්ලා ගත්තා සේ අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලා ගැනීමට තරම් හැකියාවක් මෙරටට නොමැති නිසා ඉදිරි දෙසතියේදී ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර උදර්පන ගිවිසුම අස්සන් තබන්නේ නම් ඒ හරහා ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට මඟක් පෑදෙනු ඇතැයි ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පවසයි.
රතු නිවේදන පිට රතු නිවේදන යැවුවද සිංගප්පූරුව වැනි රටකින් එරට පුරවැසියකු කොටු කර ගැනීම ඉතා අසීරු කටයුත්තක් බව ද ගත වූ ඉතිහාසයේ සිංගප්පූරු පුරවැසියකු එසේ භාරදුන් එකදු අවස්ථාවක්වත් වාර්තා වී නොමැති බව ද ඔහු පැවැසුවේය.
ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන්ට භාර වීමට ලබාදුන් කාලය උදර්පන ගිවිසුම අස්සන් තැබීමේ ක්‍රියා පද්ධතිය සඳහා යෙදවීම වඩාත් යෝග්‍ය බවද අර්ජුන මහේන්ද්‍රන් යළි නොපැමිණෙන බව සිය අනුමානය බව ද හෙතෙම පැවැසීය.
මේ සඳහා අන්තර් ජාතික පොලිසියට වරෙන්තු ලබා දුන්නද ඒ සම්බන්ධව ඔවුන් එතරම් උනන්දුවක් නොදක්වන බවත් අන්තර්ජාතික පොලිසිය තබා මහේන්ද්‍රන් කොටුකර ගැනීමට මැතිවරණයට පෙර දැඩි උනන්දුවක් දැක්වූ ආණ්ඩුවටද මේ සම්බන්ධව මේ වන විට කිසිදු උනන්දුවක් නොමැති බවත් ඒ මහතා පැවැසුවේය.
අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිමය ක්‍රියාමාර්ගවලින් නොහැකි නම් පොදු රාජ්‍ය මණ්ඩලයීීය සබඳතා මාර්ගයෙන් හෝ ඔහුව ගෙන්වා ගැනීමට විදෙස් කටයුතු අමාත්‍යාංශය උනන්දු විය යුතු බවත් ඔහු පැවැසුවේය.









