FAST NEWS

24×7 Around the Globe

මාලිංග වගකීම භාර ගනී : පරාජයට හේතුත් දක්වයි.

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (30) පැවැති පළමු විස්සයි20 ක‍්‍රිකට් තරගයේදී තමන්ගේ දුර්වල පන්දු යැවීම නිසා පාකිස්තානු පිලට ලකුණු 175 ක් රැස්කරමින් ප‍්‍රබල තත්ත්වයකට පැමිණීමේ අවස්ථාව ලැබුණු බව ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග පැවසීය.

දෙවැනි සහ අවසන් විස්සයි20 තරගය අද (01) ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය රාත‍්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව පළමු තරගයෙන් ලකුණු 29 ක පරාජයක් ලැබූ අතර එහිදී නායක ලසිත් මාලිංගගේ ඕවර හතරේදී ලකුණු 46 ක් රැස්කිරීමට පාකිස්තානු පිතිකරුවෝ සමත් වූහ. එහිදී මාලිංග යැවූ ඉනිමේ 17 වැනි සහ 19 වැනි ඕවර දෙකට පමණක් ලකුණු 22 ක් රැස්කර තිබුණි. තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මාලිංග වැඩි දුරටත් මෙසේ අදහස් පළ කළේය.

‘‘විස්සයි20 තරගයකදී අවසන් ඕවර පහේදී වේගයෙන් පන්දුවට පහර දෙන්න උත්සහ කරනවා. ප‍්‍රධානතම හේතුව අවසන් ඕවර පහ ඇතුළත මගේ ඕවර දෙකක් තිබුණා. මම පෞද්ගලිකව හොදට පන්දු යැව්වේ නෑ. ඒක තමයි ලකුණු 175 ක් කරා යන්න ප‍්‍රධානතම හේතුව වුණේ’’

චාමර කපුගෙදර පිතිකරු ලැයිස්තුවේ ඉදිරියට පැමිණියේ නම් මීට වඩා ප‍්‍රයෝජනයක් ගැනීමේ අවස්ථාව තිබුණේ යැයි සිතෙන්නේද යන ප‍්‍රශ්නයට මාලිංග මෙසේ පිළිතුරු සැපයීය.

‘‘චාමර කපුගෙදර කැඳවන්න ප‍්‍රධාන හේතුව තමයි අංක හය හෝ හත ස්ථානයේ පන්දුවට පහරදීලා අවසන් පන්දු වාරවලදී ලොකු පහරවල් ලබා ගැනීම. පිතිකරුවන් එක එක ස්ථානවල රැඳවීමේදී සැලැස්මක් තිබුණා. අපිට ඇන්ජලෝ මැතිව්ස් හිටියා, ඒ වගේම එක්දින තරගාවලියේ දස්කම් දක්වා තිබුණු මිලින්ද සිරිවර්ධන හිටියා. ඒ නිසා මිලින්දව ඉහළට දාන එක හොඳයි කියලා හිතුණා. ඔහු ඇත්තටම හොඳයි කියන එක පෙන්නුවා’’

‘‘පිතිකරු ලැයිස්තුව ගත්තම අවස්ථාකූලව අවශ්‍ය දේ පිළිබඳව බලන්න ඕනේ. කපුගෙදර අපිට අවශ්‍ය දේ කරලා දුන්නා’’ මිලින්ද සහ ධනංජය පන්දු යැවීමට යොදා නොගැනීම පිළිබඳව කළ විමසුමේදී මාලිංග මෙසේ අදහස් දැක්වීය.

‘‘පාකිස්තානු පිල එක්දින තරගාවලියේදී දඟ පන්දු යවන්නන්ට ඉක්මනින් පහර දෙනවා අපි දැක්කා. ඒ වගේම පාකිස්තානු පිලේ දකුණත් පිතිකරුවන් ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටියා. මිලින්ද සිරිවර්ධන ඇත්ත වශයෙන්ම භාවිතා කළේ පිතිකරුවකු ලෙයසි. ඒ වගේම තිසර පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් හොඳින් පන්දු යවමින් සිටියා. මම තරගය සැලැසුම්කළ ආකාරයට ඒ දෙපළට පන්දුව දෙන්න අවස්ථාවක් ලැබුණෙ නෑ’’

ආරම්භක පිතිකරුවන් දෙපළ සහ ඇන්ජලෝ මැතිව්ස් අසාර්ථක වීම පිළිබඳව මාලිංග මෙසේ අදහස් දැක්වීය.

‘‘ඇන්ජලෝ කොතරම් දක්‍ෂ ක‍්‍රීඩකයෙක්ද කියලා අපි හැමෝම දන්නවා. තරගයක් ඉවර කරන්න පුළුවන් ක‍්‍රීඩකයෙක් ඒ වගේම තරග ඉවර කරලා පෙන්නපු ක‍්‍රීඩකයෙක්. ධනංජය ද සිල්වා පැත්තක් ආරක්‍ෂා කරමින් සිටියදී ලකුණු වේගය වැඩි කරන්න තමයි ඒ තීරණය ගන්න අත්තේ. ඒක වැරදුණා’’

‘‘කුසල් කියන්නේ වේගයෙන් පහර දෙන ක‍්‍රීඩකයෙක්, අපි ඔහුට නිදහසේ පහර දෙන්න අවස්ථාව දීලා තියෙනවා. ඩිල්ෂානුත් දක්‍ෂ විස්සයි20 ක‍්‍රීඩකයෙක් අවාසනාවට පළමු ඕවර තුන තුළ කඩුලූ තුනක් දැවී ගියා’’

චන්දිමාල් සහ තිරිමාන්න සංචිතයෙන් ඉවත්කිරීමට මාලිංග සම්බන්ධ වූ බවට හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා විදෙස් මාධ්‍යයකට කළ ප‍්‍රකාශය පිළිබඳව මාලිංග සිය අදහස මෙසේ ප‍්‍රකාශ කළේය.

‘‘මම දැනට ජාතික කණ්ඩායමේ වසර 10 ක් ක‍්‍රීඩා කරනවා. ඉතින් මම නොයෙකුත් තේරීම් කමිටු සභාපතිවරුන් සමඟ වැඩකටයුතු කරලා තියෙනවා. එක එක්කෙනාගේ දැකීම අනුව අත්දැකීම් අනුව අදහස් ප‍්‍රකාශකිරීමේ හැකියාව තියෙනවා. මම ඒකට ගරු කරනවා. විවේචනය කරන්න අවස්ථාව තිබෙනවා. මම ඒකටත් ගරු කරනවා. නමුත් අපි නව තේරීම් කමිටු සභාපති සමඟ සාකච්ඡ කරලා තමයි මේ තීරණය ගත්තේ’’

‘‘අපිට ලෝක කුසලානයට තරග 10 ක් පමණ තියෙන්නේ. මට තරග 10 යේදීම ක‍්‍රීඩකයන් බලන්න උවමනාවක් නෑ. තරග හතරක් පහක් ඇතුළත එළියේ ඉන්න ක‍්‍රීඩකයන් මොන තත්ත්වයේද කියලා දැනගන්නයි ඕනේ. තිරිමාන්නත් චන්දිමාලූත් 2010 සිට විස්සයි20 පිලට ක‍්‍රීඩා කරලා තියෙනවා. ඔවුන්ගේ දක්‍ෂතා මම දන්නවා පෞද්ගලිකව, මම දන්නවා ඔවුන් කොච්චර හොඳද කියන එක ගැන’’
‘‘ඔවුන් දෙදෙනා ඉවත් කිරීමේ කිසිම සැලැස්මක් නෑ. සමහර විට එළියේ ඉන්න ක‍්‍රීඩකයන් ඊට වඩා හොඳ වෙන්න පුළුවන්. මම මීට වඩා දුර්වල වෙන්න පුළුවන්.මට වඩා හොඳ පන්දු යවන්නෙක් එන්න පුළුවන්. මම ඒක තේරීම් කමිටුවට බාරදීලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් වෙනුවෙන් අපි කොච්චර කාලයක් ක‍්‍රීඩා කරයිද කියන එකට සහතිකයක් දෙන්න අමාරුයි’’

අද පැවැත්වෙන දෙවැනි තරගයේදී සෙසු ක‍්‍රීඩකයන්ටත් අවස්ථාව ලබා දෙන්නේද යන ප‍්‍රශ්නයේදී මෙවනි අදහසක් පළවිය.

‘‘අපි බලන්නේ ක‍්‍රීඩකයන්ට සාධාරණයක් ඉටු කරන්න. එක තරගයක්දීලා එලියට දැම්මොත් ක‍්‍රීඩකයටත්, ශ්‍රී ලංකා ක‍්‍රිකට්වලටත් වැදගත් කමක් නෑ. එක තරගයකින් ක‍්‍රීඩකයකුගේ දක්‍ෂතාව මනින්න බෑ. මට එක තරගයක් දීලා එළියට දැම්මනන් මට මොකක් වෙයිද කියලා හිතන්න බෑ. ලෝක කුසලානයට හොඳ කණ්ඩායමක් හදලා දිගු ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ’’