FAST NEWS

24×7 Around the Globe

පේෂකර්ම හා ඇඟළුම් පුහුණුවට NVQ සහිතකය පිරි නමනවා – ඇමති රිෂාඩ්..

පේෂකර්ම හා ඇඟළුම් ක්‍ෂේත්‍රයේ පාඨමාලාව සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එසේ පුහුණුව ලබන සිසුන්ට පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් ලබා දෙන සහතිකයට අමතරව ජාත්‍යන්තරය පිළිගත් NVQ (National Vocational Qualification) හෙවත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබා දීමට සැලසුම්කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය දා පේෂකර්මාන්ත ආශ්‍රිතව අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී පැවසීය.
“ශ්‍රි ලංකාවේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ අත් යන්ත්‍ර රෙදි පිළි, ඇඟළුම් නිෂ්පාදකයාට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. මේ ක්‍ෂේත්‍රයේ සිටින ව්‍යවසායකයින්ගෙන් වැඩිම පිරිස කාන්තාවන්. එය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් සියයට 70 කට වඩා වැඩියි. ඔවුන් අතර ග්‍රාමීය කාන්තාවන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. පසුගිය වර්ෂය තුළ පමණක් මෙම ක්‍ෂේත්‍රයේ ස්වයං රැකියා 400 ක් පමණ ඇති කරලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව, අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර හා පහසුකම් මෙන්ම වෙළඳපොළ ලබා දීමටත් මගේ අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. අපි ඔවුන්ට විශාල සහයෝගයක් ලබා දෙනවා. අපි මෙසේ පුහුණුව ලබන සිසුන්ට හොඳ පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ට වටිනාකමක් ලබා දෙන්න සහතිකයකට අමතරව ජාත්‍යන්තරය පිළිගත් ජාතික වෘත්තිය සුදුසුකම හෙවත් NVQ මට්ටමක් ද ලබා දීමට පියවර ගෙන තියෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් වලින් ශ්‍රි ලංකාවේ අත් යන්ත්‍ර හා රෙදි පිළි සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ ඉල්ලුම මත ලෝක වෙළඳපොළ ඉලක්ක කර අත් යන්ත්‍ර, රෙදි පිළි කීප ගුණයකින්ම වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය
ශ්‍රි ලංකා පේෂකර්ම ඇඟළුම් ආයතනය, ශ්‍රි ලංකාවේ පේෂකර්ම, ඇඟළුම් හා පාවහන් ආශ්‍රිතව ව්‍යවසායකයින්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන ඉහළම ආයතනවලින් එකක් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම පුහුණු කිරීම් සඳහා නේවාසික පහසුකම් සහිත පේෂකර්මාන්ත හා ඇඟළුම් පුහුණු පාසල් 14 ක් පවතින අතර, මෝස්තර නිර්මාණ පාසල් 02 ක් ද ඇති බවත් පැවසේ.
එසේම මෙහි පාඨමාලා ඕනෑම අයෙකුට නොමිලේ හැදෑරිය හැකි අතර, පාඨමාලා කාලය තුළ එක් සිසුවෙකුට රු.100.00 ක දෛනික දීමනාවක් හා නිළ ඇඳුම් ද ලබා දිම සිදු කෙරේ
පසුගිය වසරේදී පමණක් මෙම පාඨමාලා හැදෑරීමට සිසුන් 2020 ක් ලියාපදිංචි වී සිටි බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.