FAST NEWS

24×7 Around the Globe

පළමු විස්සයි විස්ස ජය පාකිස්තානයට.

තරග දෙකකින් යුත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම තරගයේදී ශේෂාඩ්, අක්මාල් හා මලික් යන පාකිස්තාන් පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු 46 බැගින් ලබා ඔවුන්ගේ ඉනිම ශක්තිමත් කිරීමත් ඒ සඳහා පන්දුවාර 4කදී ශ්‍රී ලංකා නායක මාලිංග ලකුණු 46ක්ම පූජා කිරීමත් හේතුවෙන් ලකුණු 29ක ජයක් පාකිස්තානයට හිමි විය.
පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු 175ක ඉලක්කය හඹා යාමට පැමිණි ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී කඩුලු 7ක් දැවී ලකුණු 146ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 10ක් නිමා වන විට කුසල්, ඩිල්ෂාන්, කිතුරුවන් හා මැතිව්ස් යන පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 55ක් තුළ ක්‍රීඩාගාරයට යවන්නට අලි, ටැන්වීර් හා වසීම් සමත් වූහ.

තමන්ගේ මංගල විස්සේ තරගයට ඊයේ සහභාගි වූ ධනංජය ද සිල්වා හා මිලින්ද සිරිවර්ධන 5 වැනි කඩුල්ල වෙනුවෙන් තැබූ ලකුණු 37ක සබඳතා හැරෙන්නට සාර්ථක වූයේ නොදැවී ලකුණු 31 ලබා ගත් කපුගෙදර පමණි.
කාසියේ වාසිය දිනාගැනීමේ වාසිය ලබා ගැනීමට පළමුව පන්දුවට පහර දීමට පාකිස්තාන් නායක සයීඩ් අෆ්රිඩි තීරණය කළද 2වැනි පන්දුවාරය යැවූ ඇන්ජිලෝ මැතිව්ස්ගේ අවසන් පන්දුවට වැන්ඩර්සේ අතට උඩපන්දුවක් දීමෙන් මුක්තාර් අහමඩ් ලකුණු 2කට දවා ගනිමින් මුළු ලකුණු 10ක් වන විටම පාකිස්තාන් ඉනිමට යම් අභියෝගයක් එල්ල කළේය.

එහෙත් ඉන් පසුබට නොවී අහමඩ් ශේසාඩ්ට එක්වූ මොහොමඩ් හෆීස් දෙදෙනා 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33කින් ලකුණු 42ක සබඳතාවක් ගොඩනැඟූ අතර හෆීස් ලකුණු 17කට වෙන්ව ගියේ තිසරගේ පන්දුවකට මිඩ්විකට්හි පන්දු රකිමින් සිටි කිතුරුවන් අතට උඩපන්දුවක් දීමෙනි.
ඉන් පසුව පාකිස්තාන් ඉනිමේ 12 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේදී යළිත් තිසර පෙරේරා ක්‍රියාත්මක වෙමින් තම 5 වැනි විස්සයි-20 අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට ලකුණු 4ක් අඩුවෙන් සිටි ශේසාඩ් දවා ගත්තද එසේ 3 වැනි කඩුල්ල ලකුණු 83දී දැවී යන විට ලකුණු 12ක් ලබා සිටි ෂොයිබ් මලික්ට එකතු වූ උමාර් අක්මාල් 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව දක්වා වේගවත් ප්‍රහාරයක් දියත් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 164 දක්වා ගෙන ආවේය.

ඒ අතර දැඩි ප්‍රහාරයකට ලක්වූ මාලිංග ඔහු යැවූ 4වැනි පන්දුවාරයේ අවසන් පන්දුවෙන් අක්මාල් ලකුණු 46කට දවා ගන්නා තෙක්ම කිසිදු කඩුල්ලක් නොලබා ලකුණු 46ක්ම ප්‍රතිවාදීන්ට ලබා දීම කැපී පෙනුන අතර ඊයේ තරගයේ බිනුර හා ධනංජය සමඟ පැමිණි අනෙක් කෝඩුකාරයා වූ වැන්ඩර්සේගේ පන්දුවාර 4ට ප්‍රතිවාදීන් ලකුණු 25ක් ලබා ගත්තද ඒ තුළ එකම පහරක් හෝ ඇතුළත් නොවීම විශේෂත්වයකි.

පාකිස්තානය
(පන්දුවාර 20 කදී කඩුලු 5කට )
ලකුණු 175
අහමඩ් ශේසාඩ් 46
මොහොමඩ් හෆීස් 17
ෂොයිබ් මලික් නොදැවී 46
උමාර් අක්මාල් 46
ලසිත් මාලිංග 4-0-46-1
තිසර පෙරේරා 4-0-30-2
බිනුර ප්‍රනාන්දු 4-0-38-1
ඇන්ජිලෝ මැතිව්ස් 4-0-33-1

ශ්‍රී ලංකාව
(පන්දුවාර 20කදී කඩුලු 7කට)
ලකුණු 146
ධනංජය ද සිල්වා 31
ඇන්ජිලෝ මැතිව්ස් 23
මිලින්ද සිරිවර්ධන 35
චාමර කපුගෙදර නොදැවී 31
අන්වර් අලි 4-0-27-2
සොහයිල් ටැන්වීර් 4-0-29-3
ඉමාඩ් වසීම් 3-0-21-1
ෂොයිබ් මලික් 1-0-9-1