FAST NEWS

24×7 Around the Globe

කතරගමදී පොලිස් වෙඩි පහරින් මීය ගිය තරුණයාගේ පවුලට පොලිසියෙන් ගෙයක් දෙයි..

කතරගමදී පසුගියදා පොලිස් වෙඩි පහරින් මිය ගිය පතිරණලාගේ නිරෝෂන් මහතාගේ බිරිදට හා දරුවන්ට අංග සම්පූර්ණ නිවසක් හා ව්‍යාපාරික ස්ථානයක් ලබා දීමට කටයුතු කරන බව මාතර හා හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

නිරෝෂන් මහතා ජීවත්ව සිටි නිවස අබලන් වී පැවතීම නිසාත් ස්වාමියාගේ වියෝවෙන් පසු බිරිදට හා දරුවන්ට ජීවත්වීමට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති වීම නිසාත් ඔවුන්ට ජීවත්වීම සදහා ව්‍යාපාරික ස්ථානයක්ද ලබා දීමට මෙසේ තීරණය කළ බව  හෙතෙම පවසා තිබේ.

ඒ අනුව හෙට(25) පෙරවරු 11.25ට යෙදෙන සුභ මොහොතින් කතරගම ප්‍රදේශයේ පිහිටි නිරෝෂන් මහතාගේ නිවස තිබූ ස්ථානයේම නව නිවසක් හා නිවස ඉදිරිපිට ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට මුල්ගල් තැබීමට නියමිත බවත් එ මහතා කියා තිබේ.

මිය ගිය නිරෝෂන් මහතාගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සදහා ඔහු උසස්පෙළ විභාගයට මුහුණ දෙන තුරු අවශ්‍ය වියදම්ද මාසිකව ලබා දීමට කොළඹ කිරුළපන camera.lk ව්‍යාපාරික ආයතනයේ හිමිකරු අනුශ්ක ගුණසිංහ මහතා විසින් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවද වාර්තා වේ.

මිය ගිය පුද්ගලයාගේ තුන්මාසයේ දානමය පින්කම පැවැත්වෙන දිනට පෙර නිවස හා ව්‍යාපාරික ස්ථානයේ වැඩ කටයුතු අවසන් කර පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔවුන්ට බාර  දී නව නිවසේ දානය පැවැත්වීමට කටයුතු කරන බවත් ව්‍යාපාරික ස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කිරීමටත් කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිතුමා පවසා තිබේ.