‘වෙලේ සුදා’ නොහොත් මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ගම්පොළ විතානගේ සමන්ත කුමාර නමැත්තාගේ ජාවාරම් සමඟ සම්බන්ධව සිටි බොහෝදෙනෙකු ඔවුන්ගේ මුදල් ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ තැන්පත් කර ඇති බවට ආරක්ෂක අංශවලට සැකයක් මතුව ඇතැයි වාර්තා වේ.
අදාල සැකය මතුව ඇත්තේ ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග මෙනෙවිය හා ඇගේ සහෝදරිය වන චමිලා ක්‍රිෂාන්ති නිල්මිණි කුලතුංග යන අයගේ ගිණුම් ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ පවත්වාගෙන ගොස් තිබීමත් එතරම් විශාල ගනුදෙනු සිදුවද්දී අදාල සමාගම කිසිදු පැකිලීමකින් තොරව කටයුතු කර තිබීමත් නිසාය.
නිළි උදයන්ති නිරූපිකා කුලතුංග මෙනෙවියගේ නමින් ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ පවත්වාගෙන ගිය රුපියල් කෝටියක ස්ථාවර තැන්පතුවක් ඇගේ සහෝදරිය වන චමිලා ක්‍රිෂාන්ති නිල්මිණි කුලතුංග නමට පැවැරීමක් සිදු කර ඇති බව මේවන විට රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මේ පිළිබඳ මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ නඩු අංක විශේෂ 4/2015 යටතේ චමිලා ක්‍රිෂාන්ති නිල්මිණි කුලතුංග යන අයගේ ගිණුමද, කොළඹ මහාධිකරණයේ නඩු අංක විශේෂ 5/2015 යටතේ උදයන්ති නිරූපිකා කුලතුංග යන අයගේ ගිණුම්ද ක්‍රියා විරහිත කර ඇතැයි ද පැවසේ.
එසේම පසුගිය නඩු වාරයේදී ‘වෙලේ සුදා’ නමැත්තාගේ දුරකතන ඇමැතුම් විශ්ලේෂණ වාර්තා අනුව ඔහු සමග නිළි උදයන්ති කුලතුංග මෙනෙවිය සම්බන්ධතා පවත්වන බවට අනාවරණය වූ බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත 27 වැනිදා දන්වා තිබිණි.








