FAST NEWS

24×7 Around the Globe

ඡන්ද අපේක්‍ෂකයන්ගේ පැටිකිරිය අවුරුදු තෑග්ග ලෙස ජනතාවට ළඟදීම ලබා දෙනවා..

ලබන පෙබරවාරි මස 10 වැනිදා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී තරග කරන සියලුම දේශපාලන පක්ෂවල මෙන්ම ස්වාධීන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ පැටිකිරිය පිළිබඳ තොරතුරු අවුරුදු තෑග්ගක් වශයෙන් සියලුම දෙනාගේ දැන ගැනීම සඳහා හැකි ඉක්මනින් නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් විසුරුවාහැරිය වැඩසටහනකට සහභාගි වෙමින් ඡන්ද දායකයන් දුරකතනයෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.

කාන්තා නියෝජනය ලබාදීම නිසා අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ගණන හැම ඡන්ද කොට්ඨාසයකින්ම ඩබල් වී තිබෙනවා යැයිද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

පොල් කට්ටෙන් මුහුද ඉස දමනවා වාගේ වැඩක් කරන්නට මැතිවරණ කොමිෂන් සභාවට නොහැකියි. මැතිවරණ පනත අනුව මැතිවරණය පැවැත්විය යුත්තේ විනිවිදභාවයකින් යුක්තවයි. එය ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඡන්ද දායකයාට හිමි වී ඇති ඡන්ද බලය කල්පනාකාරීව ඔවුන් පාවිච්චි කළ විට රටේ තොටේ ගමේ ගොඩේ අවංක පාලනයක් ඇති කරමින් අදාළ පළාත් පාලන ආයතන රටට වැඩදායී ලෙස පවත්වාගෙන යා හැකි බව පෙන්වාදුන් ඒ මහතා සඳහන් කළේ ඉතා සාමකාමී නිදහස් මැතිවරණයක් පෙබරවාරි 10 වැනිදාට පවත්වා ගැනීමට ඡන්ද දායකයන් මෙන්ම දේශපාලන පක්ෂවල සහායද මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය බවයි.