ශ්‍රී ලංකා ආගමන හා විගමන සේවාවේ වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පවතින ගැටලුවලට විසඳුම් නොදුන්නොත්, මෙම මස 30දායින් පසු වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ,ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති අරුණ කලුගල මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල සම්මන්ත්රණ ශාලාවේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.
සභාපති අරුණ කලුගල මහතා
“දශක දෙකක කාලයක් තිස්සේ රටේ සුබසාධනය වෙනුවෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක් වූ නිසා අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්න තීරණය කළා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස සේවයට එක්වන අපට එම තනතුරේම විශ්‍රාම ගන්න සිදුවෙලා තියෙනවා. ක්‍රමවත් උසස් වීම් ලබා දෙන සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතුයි. අපි මේ ගැන කිහිපවරක්ම රජය සමග සාකච්ඡා කළා. නමුත් කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මැයි මාසයේදී ජනාධිපතිතුමාවත් මේ ගැන දැනුවත් කළා. සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට රාජ්‍ය සේවක සභාව, වැටුප් කොමිෂන් සභාව අනුමැතිය දීලා නැහැ.
ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි 394 අනුමත තනතුරුවල ඉන්නවා. නමුත් උසස්වීම් සංඛ්‍යාව 10 යි තියෙන්නේ. නියෝජ්‍ය පාලක තනතුරු 07ක් තියෙනවා. තනතුරු දෙකක් තවමත් පුරප්පාඩු තියෙනවා. 2008, 2011, 2012 යන වර්ෂවල විශාල නිලධාරීන් පිරිසක් බඳවා ගත්තා. ඔවුන්ටත් එම තනතුරේම විශ්‍රාම යන්න සිදුවෙනවා.
දෙපාර්තමේන්තුවේ නඩු පැවැරීමේ අංශය 2002 වෙනතුරු අපේ දෙපාර්තමේන්තුව යටතේ පැවැතුණා. නමුත් දැන් එය පවතින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. එම නඩු පැවැරීමේ අංශය නැවත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කළ යුතුයි.
එමෙන්ම විදේශීය දූත මණ්ඩලවලට ආගමන විගමන නිලධාරීන් අනුයුක්ත කරලා නැහැ. මේ නිසා රටට පැමිණෙන හා විදේශ ගතව සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ට ගැටලු රැසක් මතුවෙලා තියෙනවා. මේ නිසා විදේශීය දූත මණ්ඩලවලට ආගමන හා විගමන නිලධාරීන් අනුයුක්ත කළයුතුයි.”
මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලටද ඒ මහතා පිළිතුරු ලබා දුන්නේය.
ප්රශ්නය – මොකද්ද ගන්න වෘත්තීය ක්‍රියාමාර්ගය?
පිළිතුර – කළු පටි පැලඳගෙන රාජකාරියට වාර්තා කිරීම. විරෝධතා උද්ඝෝෂණ කරනවා, මහජනතාව මගින් දැනුවත් කිරීම් කරනවා
ප්රශ්නය – වැඩවර්ජනයක නිරත වෙනවාද?
පිළිතුර – අපි කරන සේවයත් එක්ක වැඩවර්ජන කිරීමේ ගැටලුවක් තියෙනවා. නමුත් ඉල්ලීම් ඉටු නොවුණහොත් එවැනි ක්‍රියාමාර්ගයකට යනවා. වැටුප් කොමිෂන් සභාව අපට ස්ථීර විසඳුමක් දෙන්නේ නැහැ.
DE සිල්වා