FAST NEWS

24×7 Around the Globe

කැබිනට් මණ්ඩලයෙන් සුබවාදී තීරණයක් ලැබෙන තුරු දුම්රිය වර්ජනයේ..

අද (12) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සුබවාදී තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් , සිය ගැටළුවට නිසි විසඳුමක් ලබා දෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති පවසයි.

කෙසේ වෙතත් වර්ජනයට සහභාගී වූ දුම්රිය සංගම් 07 ක සාමාජිකයින් මේ වන විට සේවයට වාර්තා කර ඇති බවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

එ අනුව දුම්රිය විදුලි සංදේශ කළමනාකරුවන්ගේ සංගමය, දුම්රිය මාර්ග හා පාළම් කළමනාකරුවන්ගේ සංගමය, දුම්රිය මාර්ග හා කර්මාන්තශාලා කළමනාකරුවන්ගේ සංගමය, දුම්රිය ගොඩනැගිලි අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය, දුම්රිය ධාවන බල කලමනාකරුවන්ගේ සංගමය, රේල්වේ ලොකොමොටිව් සහ ටෙක්නිකල් ඉංජිනියරින් සංගමය සහ ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය මේ වන විට සේවයට වාර්තා කර ඇති බව සඳහන්ය.

එසේම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ පහසුව වෙනුවෙන් අද (12) දිනය තුළ දුම්රිය ගමන් වාර 40ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව පොල්ගහවෙල සිට කොටුව දක්වා දුම්රිය ගමන්වාර 03 ක්, අළුත්ගම සිට දුම්රිය 02 ක් සහ නිරන්තර කෙටි දුර ධාවන ලෙස රාගම සිට කොටුව, පානදුර සිට කොටුව දක්වා දුම්රිය සේවා පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව අමාත්‍යංශය පවසයි.

DE සිල්වා