FAST NEWS

24×7 Around the Globe

නවකවදය දුන් පේරාදෙණි කෘෂි පීඨ‍යේ සිසුන් 15 ද‍ෙනෙකුට පන්ති තහනමක්..

පේරාදෙණිය කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකුට විශ්වවිද්‍යාලයෙන් පිටත ස්ථානයකදී අමානුෂික ලෙස නවකවදය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පීඨයේම ජ්‍යෙෂ්ඨ සිසුන් 15 ද‍ෙනෙකුට වසර තුනක පන්ති තහනමක් පනවනු ලැබ ඇත.

විශ්වවිද්‍යාල විනය මණ්ඩලය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් පසු ලබාදුන් නිර්දේශ මත විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ සිසුන්ට වසර තුනක කාලයක් සඳහා පංති තහනම් කරන ලිපිය සිසුනට නිකුත් කර ඇත.

පසුගිය 2017 පෙබරවාරි මස 19 වන දින දොළුව මෙගොඩකළුගමුව ප‍්‍රදේශයේ පාළු නිවසක් රුපියල් 10,000ක මාසික කුලී පදනම මත ලබාගෙන සැකකාර සිසුන් 15 දෙනා විසින් නවක සිසුන් එතැනට බලහත්කාරයෙන් රැගෙන ගොස් නිරුවත් කර නවකවදය ලබාදුන් බව සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් ලබාදුන් පංති තහනම් කිරීමේ දඬුවමට එරෙහිව සිසුන් 15 දෙනා විසින් අභියාචනාවක්ද ඉදිරිපත් කර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් පැවසීය.