රජයේ පාසල් සිසුන් සඳහා නොමිලයේ ලබාදෙන පෙළපොත් ප්‍රමාණය,අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මෙවර සීයයට පනහක් දක්වා අඩුකර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විසින් චෝදනා කර සිටියි.
අයවැයෙන් පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 2500ක් වෙන්කර ඇතත් එම මුදලින් සම්පූර්ණ පෙළපොත් ප්‍රමාණය මුද්‍රණය නොකර නියමිත ප්‍රමාණයෙන් අඩක් පමණක් මුද්‍රණය කර පාසල් වෙත යවා ඇති බව පෙන්වා දෙන එ මහතා, මෙසේ පිටපත් සංඛ්‍යාව අඩුකළද මුද්‍රණ වියදමෙහි අඩුවක් සිදුව නැති බවත් පවසයි.
අලුත් පෙළපොත් නොලැබුණු සිසුන්ට පැරණි භාවිත කළ පෙළපොත් ලබාදී ඇති අතර ඒවා විවිධ දෑ ලියූ අබලන් වූ ඒවා බවද ඔහු පෙන්වා දෙයි.
මෙම සිසුන්ට නව පෙළපොත් අවැසි නම් මුදල් ගෙවා ලබාගත හැකි බවට චිත්‍රයක් මැවීමට කලක පටන් පෙළපොත්වල මිලත් මුද්‍රණය කිරීමට රජය කටයුතු කළේ යැයිද චෝදනා නගන එ මහතා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් බලධාරීන් මෙලෙස නිදහස් අධ්‍යාපනය වළපල්ලට යැවීමට ක්‍රියාකිරීම නින්දිත බවද පෙන්වා දේ.
මීට අමතරව 3-4-5 ශ්‍රේණි සඳහා අවශ්‍ය ගුරු අත්‍පොත් මතෛක් මුද්‍රණය කර ගැනීමට වැඩබලන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස්වරයා අසමත්ව ඇති අතර වෙනත් පෞද්ගලික ආයතන ඒවා මුද්‍රණය කර ගුරුවරුන්ට රුපියල් 1100ක් වැනි මුදලකට අලෙවි කරන බවද සඳහන් වෙයි.
1-5 වසර සඳහා සියලුම පෙළපොත් අලුතින් ලබාදෙන බවත් 9 වසරේ සිට නව විෂය මාලා හේතුවෙන් සියලු පෙළපොත් අලුතින් මුද්‍රණය කර ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කරයි.
6-7-8 වසර සඳහා පමණක් භාවිත කළ පෙළපොත්වලින් සුදුසු ඒවා පමණක් තෝරා නැවත භාවිත කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ බවද ඒ මහතා පවසයි.
DE සිල්වා








