යුද අපරාධකරුවකු යැයි චෝදනා ලැබ සිටි බොස්නියා ක්රෝට් ජාතික 72 හැවිරිදි සොලොබොඩාන් පර්ජැක් සම්බන්ධ නඩු විභාගය හේග් නුවර ජගත් අපරාධ අධිකරණයට හමුවේ පැවත්වෙද්දී, පර්ජැක් වස පානය කළ බවත්, රෝහල් ගත කිරීමෙන් පසු ඔහු මියගිය බවත් වාර්තා වේ.
අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටිද්දී, සොලොබොඩාන් පර්ජැක්, ඔහුට වෙන් කළ කුඩා වතුර බෝතලය පානය කරන්න වූ බවත්, වස මුසුකොට තිබුණේ මෙම වතුර බෝතලයට බවත් පසුව තහවුරු විය.
පර්ජැක් එසේ වස පානය කළේ විනිසුරු මඬුල්ල, නීතීඥවරුන්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් බලන් සිටිද්දී බව සදහන්ය.
ක්රෝට් ජාතිකයෙක් වන පර්ජැක් බොස්නියා ක්රෝට් හමුදාවේ හිටපු නායකයෙක් වන අතර පර්ජැක් චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මොහුට 20 වසරක සිර දඬුවමක් නියම කරන ලදි.
එම අවස්ථාවේදී ප්‍රධාන විනිසුරුගේ කීමට කන් නොදී, නැගී සිටිමින්, පර්ජැක් වතුර බෝතලය පානය කර ඇත්තේ ‘මම අපරාධකරුවෙක් නොවේ.. උසාවියේ තීන්දුව මම පිළිගන්නේ නැහැ’ යි කියමිනි.
බෝතලය පානය කිරීමෙන් පසු ‘මම වස බීවා’ යැයි පර්ජැක් කියා සිටි බවත් එය ඔහුගේ අවසන් වදන් වූ බවත් ඒ සමඟ අධිකරණ ශාලාවේ මහත් කලබලයක් ද හටගත් බවත් සදහන්ය.
බෝතලය පානය කිරීමෙන් පසු ඇද වැටුණු පර්ජැක් කඩිනමින් රෝහල් ගත කළ බවත්, රෝහලේ දී ඔහු ජීවිතක්ෂයට පත් වුණු බවත් පසුව වාර්තා විය.
(බී.බී.සී.)