FAST NEWS

24×7 Around the Globe

කවුරු වුණත් එළියට යා යුතුයි – මැතිව්ස්

සමස්තයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පරාජය වුවත් පිතිකරුවන් වගකීමෙන් යුතුව ක්‍රීඩාකිරීම ගැන සතුටුවිය හැකි බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. පාකිස්තානයට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ පෙරේදා (26දා) අවසන් වූ පස්වැනි හා අවසන් එක්දින තරගය ජයගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිව්ස් මේ බව පවසා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා,

“කණ්ඩායමක් වශයෙන් තරගාවලිය පරාජය වීම ගැන ගොඩක් කනගාටුයි. මහේල හා සංගක්කාර නොමැතිව ක්‍රීඩාකළ පළමු තරගාවලිය නිසා ගොඩාක් දුර්වලතා තිබුණා. නමුත් කුසල් ජනිත්, ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් වගකීමක් ඇතිව ක්‍රීඩාකළා. ඒ ගැන ගොඩක් සතුටුවිය හැකියි. නමුත් සමහර අවස්ථාවලදී අත්වැරදීම් සිදුවුණා. ඉදිරියේදී එම වැරදි නිවැරදි කරගන්න හැකිවෙයි”.

“පසුගිය තරග කිහිපයේදී පසුබෑමකට ලක්ව තිබූ පන්දු රැකීමේ අංශයට වැඩි අවධානය යොමුකළා. එහි වර්ධනයක් මෙම තරගයේදී අපි දැක්කා. ඒ වගේම පන්දු යවන්නන්ද පාකිස්තානු පිතිකරුවන්ට හොඳ පීඩනයක් එල්ල කළා” යැයි පැවසා සිටියේය.

“අපි ඕනෑම ක්‍රීඩකයෙක් කණ්ඩායමෙන් එළියට යන්න පුළුවන්. අපි කවුරුත් හැම වෙලාවෙම ක්‍රීඩාකළ යුතුයි කියලා මම හිතන්නේ නැහැ. සෑමවිටම ක්‍රීඩා කරන්නේ ඒ අවස්ථාවේ හොඳම 11 දෙනා. ඒ හේතුව නිසා තමයි මාලිංගව ඉවත් කරන්න තීරණය කළේ. ඔහු ඉතාම හොඳ පන්දු යවන්නෙක්. නමුත් සමහර අවස්ථාවලදී කවුරු වුණත් කණ්ඩායමෙන් එළියට යා යුතු නම් එළියට යා යුතුයි” යැයි පවසා සිටියේය.